අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය: මීළඟට සිදුවන්නේ කුමක් ද?

වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහාය

වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. අනුමැතිය හිමිව ඇත්තේ මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහාය

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය ( මැයි මස 07 වෙනිදා) අනුමැතිය ලබා දෙනු ලැබීය.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන ලදී.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ස්ථාපනය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට 2022 මාර්තු 07 වනදා කැබිනට් අනුමැතිය හිමිවිය.

2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබේ.

මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර දෙකක් පුනරීන් සහ මන්නාරමේ දී සංවර්ධනය කිරීමට නියමිතය.

ටෙන්ඩරයේ ඇතුළත් කරුණු මොනවාද ?

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ ටෙන්ඩරය අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය මිලදී ගැනීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ සඳහන් වේ.

එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ඇමෙරිකානු ඩොලර් 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ.

ඒ අනුව මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර දෙකක් පුනරීන් සහ මන්නාරමේ දී සංවර්ධනය කිරීමට නියමිතය.

අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාවය මධ්‍යයේ ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර දෙකක් පුනරීන් සහ මන්නාරමේ දී සංවර්ධනය කිරීමට නියමිතය

විදුලි ව්‍යාපෘතියට එරෙහිව විරෝධතාවයක්

කැබිනට් මණ්ඩලය විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාවය මධ්‍යයේ ය.

පරිසරවේදීන් විසින් මතු කළ ප්‍රධාන චෝදනාව වුයේ සෑම වර්ෂයකම මෙරටට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට මෙය බාධාවක් වන බවය.

රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන අතර එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවට සංක්‍රමණික කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයක් වන්නේ මන්නාරමයි.

ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊටම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙඹි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුනු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයක් වේ.

එබැවින් මන්නාරමේ නව සුළං බලාගාර ව්‍යාපෘතිය කුරුල්ලන්ට පමණක් බලපාන ගැටලුවක් ලෙස ලඝු කළ නොහැක.

මේ අතර සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට නොපැමිණෙන කාලයක, අවිද්‍යාත්මක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නීති විරෝධී අයුරින් සීමාසහිත අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගමට මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දීමට රාජ්‍ය ආයතන ද ක්‍රියා කරමින් සිටින බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල විය.

මේ ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව පිලියෙල කර තිබෙන්නේ රමණි ඇල්ලේපොලගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසිනි.

කුරුල්ලන් හා සතුන්ට වන බලපෑම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දෙවක වීරකෝන්, ශාක වලට වන බලපෑම ආචාර්ය හිමේෂ් ජයසිංහ, ජලජ පරිසරයට වන බලපෑම ඩී.ඒ.ජේ රන්වල යන විද්වතුන් විසින් සලකා බලා තිබේ.

විශේෂඥයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා දායක වූ බව දැනගන්නට තිබේ.

ජනතාවගේ වාචික අදහස් විමසන්න ගත් තීරණයට මොකද වුනේ ?

අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කරන ලදී.

ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් ලද මහජන අදහස් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි බීබීසී සිංහල සේවය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ ගෙන් විමසීමක් සිදුකළේය.

මේ ඔහු ඊට ලබා දුන් පිළිතුරයි.

"මෙම ව්‍යාපෘතියයේ යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදාළ පරිසර අධ්‍යන වාර්තාව සකස් කරලා අපට ඉදිරිපත් කළා."

"ඒ වාර්තාව අධ්‍යනය කරලා ඒකෙ තිබුණු අඩුපාඩු සලකා බලලා ඒවා නැවත වැඩිදියුණු කළාට පස්සේ ඒක අපි මහජනතාවට විවෘත කළා ඒ අයගේ අදහස් දැන ගන්න."

"ඒ අනුව අපිට ලැබුණු මහජන අදහස් නැවත අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත යොමු කළා ඒවාට අදාළ තාක්ෂණික පැහැදිලි කිරීම් සිදුකරන්න කියලා. නමුත් මේ දක්වා ඒ පැහැදිලි කිරීම් අපිට ලැබිලා නැහැ."

"ඒ පැහැදිලි කිරීම් ලැබුණට පස්සේ මේ වාර්තාව සම්බන්ධයෙන් ජාතික පරිසර පනතට ඇතුළත් ප්‍රතිපාදන ඔස්සේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා." නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද ?

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීමෙන් පසුව ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බීබීසී සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්ගෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ ලියැවිලි මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය විසින් උත්සහ කළද ඊට ලේකම්වරයාගෙන් නිසි ප්‍රතිචාරයක් හිමි නොවීය.

1991 සිට විසි වසරක් තුළ, ඇමෙරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1991 සිට විසි වසරක් තුළ, ඇමෙරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ

කවුද මේ ගෞතම් අදානි කියන්නේ ?

ගෞතම් අදානි ගේ නම මෙරට ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන්නේ 2021 වසරේදී කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග ගිවිසුම් අත්සන් කිරීමත් සමගය.

ඉන් පසුව යෝජනා කෙරුණු මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙරට ජනතාව අදානි සමාගමට එරෙහිව විරෝධතා ව්‍යාපාර පවා සිදුකළේය.

අදානි සමාගමේ හිමිකාරිත්වය දරන ගෞතම් අදානි උපත ලබන්නේ 1961 වසරේ ජුනි මස 24 වෙනිදා ඉන්දියාවේ අහමබදාබාද් හිදීය.

ඔහු ගේ පියා වන්නේ ශාන්තිලාල් අදානි වන අතර වෘත්තියෙන් ඔහු ව්‍යාපාරිකයෙක් වේ.

ගෞතම් අදානිට පවුලේ සහෝදර සහෝදරියන් 06 දෙනෙකු විය.

පොතපතින් පාඩම් උගැනීම පමණක් තමාට වැඩදායී නොවන බව වටහා ගත් තරුණ ගෞතම් අදානි ඔහු වාණිජ උපාධියේ දෙවැනි වසරේ සිටිය දී විශ්වවිද්‍යාලයයෙන් ඉවත්විය.

ඔහුගේ දෙවැනි තීරණය වූයේ පවුලේ රෙදිපිළි ව්‍යාපාරය සියතට ගැනීම ප්‍රතික්ෂේප කර, දියමන්ති ව්‍යාපාරය තෝරා ගැනීම යි.

ඒ අනුව ඔහු තමන්ට වයස අවුරුදු 20ක් වන විට නිවසින් බැහැරව මුම්බායි බලා පැමිණෙන ලදී.

එලෙස මුම්බායි බලා පැමිණි ඔහු දියමන්ති වෙළඳාම සඳහා ප්‍රසිද්ධ සවේරි මාර්කට්හි රැකියාවක නිරත විය.

පළමු වසර දෙක-තුන ඇතුළත දියමන්ති වර්ගකිරීමේ කාර්යයේ නියැලුණු ඔහු ඉන්පසු තමාගේම දියමන්ති තැරැව්කාර ව්‍යාපාරයක් ඇරඹී ය.

ඊළඟ වසර තුන ඇතුළත දියමන්ති ව්‍යාපාරයේ දසලක්ෂපතියන්ගේ ගොන්නට එකතු වන විට ගෞතම් අදානි ගේ වයස අවුරුදු 30ක්වත් නොවීය.

වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු ලෙස ප්‍රසිද්ධ ගෞතම් අදානි, 2015 වසරේ දී ඔහුගේ 'අදානි පවර් කම්පනි' නම් බලශක්ති සමාගම විසින් උඩුපි ජල විදුලි ව්‍යාපෘතිය ඉන්දියානු රුපියල් කෝටි 6,300කට (ශ්‍රී ලංකා රු. බිලියන 171ක් පමණ) මිලටගත් අවස්ථාවේ දී, පැය 100ක වාර්තාගත කාලයක් තුළ සාකච්ඡා අවසන් කරන්නට ඔහු සමත්විය.

පාසල් කාලයේ පටන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ජල මාර්ග සංවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වූ ගෞතම් අදානි කෙටි කාලයක් තුළදී අදානි එක්ස්පෝට්ස් (අදානි අපනයන) සහ අදානි පෝට්ස් (අදානි වරාය) සමාගම් හරහා කර්මාන්ත ලෝකයට පිවිසෙන ලදී.

1991 සිට විසි වසරක් තුළ, ඇමෙරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව අදානි ගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 78.4ක් වේ.

ගෞතම් අදානිට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග තිබූ සමීප සබඳතා නිසා, ඉතා වැදගත් ජාතික මට්ටමේ ව්‍යාපෘතීන් කීපයක සහභාගීත්වය හිමිකර ගැනීමට ඔහුට හැකිවූයේයැ යි චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම ව්‍යාපාර සඳහා රාජ්‍ය සබඳතා යොදා ගැනීමට අමතරව පරිසර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේයැ යි ඔහුගේ බලශක්ති සහ පතල් කැණීම් සමාගම්වලට චෝදනා එල්ලවී තිබේ.