බිල නොගෙවා විදුලිය විසන්ධි කළ මිලියන භාගයකට වැඩි පිරිසට ඔබත් එකතු වෙයි ද?

බිල නොගෙවා විදුලිය විසන්ධි කළ මිලියන භාගයකට වැඩි පිරිසට ඔබත් එකතු වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Hiran Piyankara

ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා බහුතරයක් ජනතාව අධික දුෂ්කරතාවන්ට මුහුණපා සිටින අතරවාරයේ 2023 වසර තුළ දෙවතාවක්ම විදුලි ගාස්තු ඉහළ දමා තිබේ. ඒ, ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතාව තවත් තිව්‍ර කරමිනි.

පවතින තත්ත්වය හමුවේ 2023 ඔස්තෝම්බර් 31 වැනිදා වන විට මේ වසරේ මුල් මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 544,488 දෙනෙකුගේ විදුලි සම්බන්ධතා විසන්ධිකර ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත ඔස්සේ බීබීසී සිංහල අනාවරණය කර ගත්තේය.

විදුලි බිල ගෙවා ගත නොහැකිව ජීවිතයෙන් වන්දි ගෙවු මව

පුත්තලම පුලිදිවාසල් හි පදිංචිව සිටි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් හට නිවසේ විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකි වීමෙන් අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ.

එක් දරු මවක් වු ඇය නොවැම්බර් 7 වැනිදා විදුලිය සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

සිත්ති සෆිකාන් නොවැම්බර් 7 වැනිදා විදුලිය සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Hiran Piyankara

ඡායාරූප ශීර්ෂ වැකිය, සිත්ති සෆිකාන් නොවැම්බර් 7 වැනිදා විදුලිය සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇය හා ඇගේ සැමියා දෛනිකව ලැබෙන කුලි වැඩවලින් ජිවිතය සරි කරගත් අතර තම නිවසට ලැබුන රුපියල් 3000 ක විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකි විමෙන් ඔවුන්ගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබී ඇත.

මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසාවෙන් ඔවුන් දෙදෙනාටම හරිහමන් රැකියාවක් නොලැබ මුදලක් උපයා ගැනීමට අවස්ථාවක් ලැබී නොමැති ඇති අතර ඒ හේතුවෙන් විදුලි බිල ගෙවා දමා නැවත විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී ඇත.

දින කිහිපයකට පසුව නොවැම්බර් 7 වැනිදා සිත්ති සෆිකාන් හට ලැබුන කුලි වැඩ නිමකර නිවසට පැමිණෙන විට නිවසේ ජලය තිබී නොමැති අතර ඇය අසල පිහිටි තම මවගේ නිවසෙන් තවකාලිකව වයරයක් යොදා ගනිමින් විදුලිය ලබා ගෙන මෝටරය පනගන්වා ජල ටැංකිය පුරවා ගැනීමට උත්සාහ දරා තිබේ.

නොකඩවා ඇද වැටෙන වැසිවලින් ඒ වන විටත් ඇයගේ නිවසේ මිදුල පුරාම ජලය පිරී තිබී ඇත.

ඇය තම මවගේ නිවසේ සිට වයරයක් යොදා ගනිමින් විදුලිය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිය දී ස්විචයට සවිකර තිබු වයරය එකවරම ඇයගේ නිවස පුරා ඇති වැසි ජලය හා ගැටී සිදුවු විදුලි කාන්දුවෙන් සිත්ති සෆිකාන් හට විදුලිය සැර වැදී ඇතැයි පුත්තලම පොලිසිය පවසයි.

වැසිවලින් ඒ වන විටත් ඇයගේ නිවසේ මිදුල පුරාම ජලය පිරී තිබී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Hiran Piyankara

ඡායාරූප ශීර්ෂ වැකිය, වැසි ජලයෙන් පිරී තිබූ සිත්ති සෆිකාන්ගේ නිවසේ මිදුල

අදාළ අනතුර සිදුවු මොහොතේ ඇයව පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් අවාසනාවන්ත ලෙස කුඩා දරුවාට සිය මව අහිමි වී තිබේ.

ඇයගේ නිසල දේහය නිවසට රැගෙන එන විට ගම්වාසින් එකතු කර ගත් මුදලින් විදුලි බිල ගෙවා සිත්ති සෆිකාන් ගේ නිවසේ විදුලි සම්බන්ධතාවය නැවත ලබා ගැනීමට කටයුතු කර තිබුණ ද ඇයගේ දරුවාට මව් සෙනෙහස දෙන්නට ඒ කිසිවෙකුටවත් නොහැකි වනු ඇත.

මිලියන භාගයකට වැඩිය විසන්ධි වු විදුලිය සම්බන්ධතා

ලංකා විදුලිය බල මණ්ඩලයේ දත්තවලට අනුව මේ වසරේ ඔක්තෝම්බර් 31 ක දක්වා මුල් මාස 10 තුළ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විසන්ධි කරන ලද සම්බන්ධතා ප්‍රමාණය මිලියන භාගය ඉක්මවයි.

තොරතුරු දැන ගැනිමේ පනත යටතේ බීබීසි සිංහල සේවය කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් විදුලි බල මණ්ඩලය පවසන්නේ මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුල බිල්පත් නොගෙවු පාරිභෝගියින් 544,488 දෙනෙකුගේ විදුලි සම්බන්ධතා විසන්ධි කළ බවය.

2022 වසර පුරාම එලෙස විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විසන්ධි කරන ලද විදුලි සබඳතා සංඛ්‍යාව 247,250 කි.

මිලියන භාගයකට වැඩිය විසන්ධි වු විදුලිය සම්බන්ධතා

කෙසේ වෙතත් පසුගිය වසරේත් මේ වසරේ ඔක්තෝම්බර් දක්වා කාලය තුලත් එලෙස විසන්ධි කරන ලද සියලුම සම්බන්ධතා සඳහා බිල්පත් ගෙවිමෙන් පසුව නැවත සම්බන්ධතාවය ලබා දී ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු, නොයෙල් ප්‍රියන්ත බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේය.

බිල්පත් නොගෙවීමෙන් විදුලිය සම්බන්ධතා විසන්ධි කිරිමේ වැඩි වීමක් දක්නට ඇතැයි පෙන්වා දෙන ලංකා විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ දත්තවලට අනුව එය 4.25% ක වර්ධනයක් යැයි පැවසීය.

විසන්ධි කරන ලද සම්බන්ධතාවයක් නැවත ලබා දීමට බිල්පත් ගාස්තුවට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් 3000 ක මුදලක් අය කරන අතර මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ එ තුළින් රුපියල් මිලියන 1633 ක් උපයා ගැනීමට මණ්ඩලයට හැකිව තිබේ.

මිලියන භාගයකට වැඩිය විසන්ධි වු විදුලිය සම්බන්ධතා

'විදුලිය පාවිච්චි කරන්නේ හරි බයෙන්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දරාගත නොහැකි ලෙස විදුලි මිල ඉහළ දමමින් ලාභ උපයන බව පෙන්වා ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමට විදුල බල හා බල ශක්ති අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහා දරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කළේය.

පසුගිය වසරේ සිට විදුලි බිලෙහි මිල 254% කට වඩා වැඩි වී ඇති බව එම සංගමයේ ජාතික ලේකම් සංජිව ධම්මික බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

“ආණ්ඩුව කියන්නේ විදුලි ඒකකයට රුපියල් 45-50 ක වියදමක් දරනවා කියලා. නමුත් අපි දන්නවා එච්චර වියදමක් යන්නේ නැහැ කියලා. පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කළොත් රුපියල් 25ට අඩුවෙන් දෙන්න පුලුවන්. හැබැයි මේ ආයතන තුළ තරගකාරිත්වයක් ඇති කරලා ,අර ටෙලිකොම් එකට කරපු වැඩේ කරලා, රාජ්‍ය ව්‍යවසායකත්වය දුර්වල කිරිමේ වෑයමක් තුළ සම්පුර්ණ පුද්ගලික අංශයට මේවා දෙන තමයි මේ හදන්නේ.”

විදුලි මිලෙහි ඉහල යාමත් සමගම විදුලි පාවිච්චි කිරීමට ජනතාව බියක් දක්වන බව ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා සඳහන් කළේය.

“විදුලි කප්පාදු අද සාමන්‍යයෙන් ලක්ෂ 8ක විතරට ගිහින් තියෙනවා. ඊට අමතරව හාර ලක්ෂ පනස්දාහක් විතර තියෙනවා මීටරේ බින්දුවට තියාගෙන, ඒ කියන්නේ මාසික ගාස්තුව පමණක් ගෙවලා තියාගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ විදුලිය කියන එක හරි බයෙන් තමයි පාවිච්චි කරන්නේ.”

මාසිකව විදුලිය විසන්ධි කිරීම

පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීම හරහා විදුලිය නිෂ්පාදනය කිරිමෙන් ඉතා අඩු මිලට විදුලිය ලබා දිය හැකි බව කී සංජිව ධම්මික “අද හැම ගමකම වගේ වැවක් තියෙනවා. මේ වැවක මෙගාවෝට් එකක්වත් ගහගත්තොත් පුනජනනීය බලශක්තිය. අන්න එතකොට අඩු ගානට ජනතාවට දෙන්න පුලුවන්.” යැයි වැඩිදුරටත් කියා සිටියේය.

ඔක්තෝම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන විදුලි බිලෙහි මිල වැඩිමත් සමගම පාරිභෝගිකයන් හට රුපියල් කෝටි 3000 ක පමණ අමතර බරක් දැරීමට සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික වැඩිදුරටත් සඳහන් කළේය.