වැඩි ම අවධානයක් යොමු වූ ඉන්දියා - පකිස්ථාන ක්‍රිකට් සටනේ ජය ඉන්දියාවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ, පාකිස්ථානය ලකුණු 61කින් පරාජයට පත් කරමිනි.
තරගයේ කාසිය වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායමේ නායක සල්මාන් අලි අගා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර මෙම තරගය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, ICC සභාපති ජේ ෂා මෙන් ම පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයට පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.
ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණය තුළ මෙන් ම කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටින අයුරු බීබීසී සිංහල කණ්ඩායමට දැක ගත හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක්
පකිස්ථානය සමග පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබිණි.
ආබාධයක් හේතුවෙන් පසුගිය තරග සඳහා ක්‍රීඩා නොකළ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා කණ්ඩායමට නැවත කැඳවා තිබූ අතර වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කණ්ඩායමට ඇතුළත් කර තිබිණි.
අද තරගය වෙනුවෙන් පකිස්ථාන කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොතිබිණි.
අභිෂේක් ෂර්මාට තිත තැබූ අගා
පකිස්ථානය වෙනුවෙන් පළමු පන්දු වාරය නායක සල්මාන් අලි අගා විසින් යොමු කළ අතර, එම පන්දු වාරයේදී ම ප්‍රවේගකාරී පිතිකරු අභිෂේක් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් විය.
විස්සයි 20 තරගයක දෙවන වරට ආරම්භක පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ පකිස්ථාන නායකයාගේ පන්දුවක් හමුවේ අභිෂේක් ෂර්මා ලකුණු නොලබා දැවී ගියේ, ෂහීන් ෂා අෆ්රිඩිට උඩ පන්දුවක් ලබා දෙමිනි.
පකිස්ථානයට හිසරදයක් වූ ඉෂාන් කිෂන්ගේ ඉනිම
අභිෂේක් ෂර්මා දැවී ගිය ද ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පකිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළේ ය.
ඔහු පන්දු 27කදී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර දෙවන කඩුල්ල වෙනුවෙන් තිලක් වර්මා සමග එක්ව ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගුවේ ය.
සයිම් අයුබ්ගේ පන්දුවක් හමුවේ 09 වන පන්දු වාරයේදී ඉෂාන් කිෂන් දැවී යන විට පන්දු 40කදී ලකුණු 77ක් රැස් කර සිටියේ ය.
ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට 6 පහරවල් 03ක් සහ හතරේ පහරවල් 10ක් ඇතුළත් විය.
ඉන්දීය ඉනිම කණපිට හැරවූ 15 වන පන්දු වාරය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දීය ඉනිමේ 15 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක සයිම් ආයුබ් ලකුණු 25ක් රැස් කර ගෙන සිටි තිලක් වර්මාගේ කඩුල්ල මෙන් ම හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුලු පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට සමත් විය.
ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 04කට ලකුණු 126ක් ලෙස සටහන් වී තිබිණි.
නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ එක්ව ඉන්දීය කණ්ඩායමේ 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක් එක් කිරීමට සමත් වූහ.
ඉන්දු - පකිස්ථාන තරගයේ ආරම්භයට පෙර සිට ම අවධානය දිනා ගෙන සිටි පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක උස්මාන් තාරික් විසින් යවන ලද ඉන්දීය ඉනිමේ 19 වන පන්දු වාරයේදී ලකුණු 32ක් රැස් කරගෙන සිටි සුර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල බිඳ වැටිණි. ඒ වන විට ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව දිස් වූයේ, කඩුලු 05 කට ලකුණු 159ක් ලෙස ය.
ඔහුගේ කඩුල්ල දැවී යාමෙන් පසු පිටියට පිවිසි රින්කු සිං පන්දු 04 කදී ලකුණු 11ක් නොදැවී රැස් කළ අතර, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී පකිස්ථානය වෙනුවෙන් සයිම් අයුබ් ලකුණු 25කට කඩුලු 03ක් බිඳ හෙළූ අතර, සල්මාන් අලි අගා, ෂහින් ෂා අෆ්රිඩි සහ උස්මාන් තාරික් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.
පකිස්ථානයේ අසාර්ථක ලකුණු හඹා යාම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක් පළමු පන්දු වාර දෙකේදී දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
හර්දික් පාණඩ්‍යා යවන ලද පන්දුවක් හමුවේ පකිස්ථාන ඉනිමේ පළමු පන්දු වාරයේදී ෂහීබ්සාදා ෆර්හාන් ලකුණු නොලබා දැවී ගියේ ය.
ජස්ප්‍රිට් බුම්රා විසින් යවන ලද දෙවන පන්දු වාරයේදී සයිම් අයුබ් ලකුණු 06කට සහ සල්මන් අලි අගා ලකුණු 04කට දැවී ගියහ.
පකිස්ථාන ලකුණු පුවරුව පළමු පන්දුවාර 02ක අවසානය වන විට ලකුණු 13කට කඩුලු 03ක් ලෙස දිස් විය.
පකිස්ථාන ඉනිමේ 05 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ අක්සාර් පටෙල් ලකුණු 5ක් ලබා සිටි බාබර් අසාම් කඩුල්ල දවා ගත්තේ ය.
පකිස්ථාන ඉනිමේ කඩුලු පිට පිට දැවී යන පසුබිමක උස්මාන් ඛාන් පන්දු 34කදී ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය.
කෙසේ වෙතත්, ඉන්දීය දඟ පන්දු යවන්නෝ පකිස්ථාන ඉනිම පුරාවට සිය අණසක පතුරුවමින් පිතිකරුවන් සිය පාලනයකට නතු කර ගැනීමට සමත් වූහ.
ඒ අනුව, පන්දුවාර 18කදී පකිස්ථාන කණ්ඩායම ලකුණු 114කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වුහ.
පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති, හර්දික් පාණ්ඩ්‍යා, ජස්ප්‍රිට් බුම්රා සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉෂාන් කිෂන් නම් කෙරිණි.
































