ඕමානය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වාර්තා කිහිපයක් අලුත් කරති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 105ක ජයක් හිමි විය.
අද (පෙබ: 12) මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී සුවිශේෂී අවස්ථා කිහිපයක් සිදු විය.
2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 225ක් රැස් කළේ ය.
එය මෙතෙක් මෙම තරගාවලියේදී කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වේ.
මීට පෙර දකුණු අප්‍රිකාව කැනඩාවට එරෙහිව 213ක් සහ ස්කොට්ලන්තය ඉතාලියට එරෙහිව ලකුණු 207ක් රැස් කර තිබිණි.
ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 225ට පිළිතුරු වශයෙන් ඕමාන් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ, ලකුණු 120ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළ වේගවත් ම අර්ධ ශතකය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දසුන් ශානක මෙම තරගයේදී ඔහු මීට පෙර පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට සමත් විය.
ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු වාර 20 තරගයකදී රැස් කළ වේගවත් ම අර්ධ ශතකය එම වාර්තාව යි.
මීට පෙර දසුන් ශානක ඉන්දියාවට එරෙහිව පන්දු 20කදී ලකුණු 50ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව අද තරගයේදී ඔහු විසින් ම බිඳ හෙළනු ලැබුවේ, පන්දු 19කදී ලකුණු 50ක් රැස් කරමිනි.
එය පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියකදී රැස් කළ 8 වන වේගවත් ම අර්ධ ශතකය යි.
මේ අතර, අද තරගයේදී පවන් රත්නායක ද පන්දු 24කදී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.
T20 ලකුණු 2500 පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු
කුසල් මෙන්ඩිස් ද මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඒ, පන්දු වාර 20 තරගවලදී ලකුණු 2500 පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් වෙමිනි.
ඔහු පන්දු 45කදී ලකුණු 61ක් රැස් කළේ ය.
ඒ අනුව, පන්දු වාර 20 තරගවලදී වැඩි ම ලකුණු රැස් කළ පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානය කුසල් මෙන්ඩිස්ට (ලකුණු 2542) හිමිව තිබේ.
ඔහු එම දක්ෂතාව දැක්වූයේ, සිය 102 වන පන්දු වාර 20 තරගයට සහභාගි වෙමිනි.
පන්දු වාර 20 ක්‍රිකට් තරගවල වැඩි ම ලකුණු රැස් කර ඇති පිතිකරුවන් අතර දෙවන සහ තුන් වන ස්ථානවල පසුවන්නේ, පැතුම් නිස්සංක (ලකුණු 2472) සහ කුසල් ජනිත් පෙරේරා (ලකුණු 2312) ය.
B කාණ්ඩයේ පෙරමුණට
ඕමානයට එරෙහි තරගය ජයග්‍රහණය කිරීමත් සමග මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙක ම ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත ලකුණු සාමාන්‍යය 3.125ක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග ඉදිරියේදී තරග කිරීමට සිදුවේ.
හොඳ ම ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය (Strike Rate)
මේ වන විට ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය (Strike Rate) අතින් පළමු සහ දෙවන ස්ථානයේ පසුවන්නේ, ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකි.
පළමු ස්ථානයේ පසු වන කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 242.3ක් වන අතර, දසුන් ශානකගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 238.09කි.
තවත් දක්ෂතා
මේ අතර, වැඩි ම කඩුලු ලබා ගැනීම් අතර, මහීෂ් තීක්ෂණ සිව් වන ස්ථානයේ පසුවන්නේ කඩුලු 5ක් දවා ගනිමිනි.
ලකුණු 117ක් රැස් කර සිටින කුසල් මෙන්ඩිස් වැඩි ලකුණු රැස් කළ පිතිකරුවන් අතර තුන් වන් ස්ථානයේ පසු වෙයි.
පන්දු වාරයකදී ලකුණු ලබා දීමේ සාමාන්‍යය අනුව අඩු ම ලකුණු සාමාන්‍යයක් ලබා දුන් පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ දෙවන ස්ථානයේ පසු වෙයි.
(මෙම දත්ත ඉදිරි තරගවල ක්‍රීඩකයින් දක්වන දක්ෂතා අනුව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.)
































