සුපර් ඕවර් දෙකකින් ජයග්‍රහණය තීරණය වූ ඉතිහාසගත දකුණු අප්‍රිකා - ඇෆ්ඝනිස්ථාන තරගය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය වූ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර තරගය ඉතිහාසගත තරගයක් බවට පත්විය.
ඒ, සුපර් ඕවර් දෙකක් ක්‍රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 187ක් රැස් කළේ ය.
එහිදී රයන් රිකල්ටන් ලකුණු 61ක් සහ ක්වින්ටන් ඩි කොක් ලකුණු 59ක් රැස් කළහ.
ලකුණු සම වීමෙන් පසු සියලු කඩුලු බිඳ වැටුණු ඇෆ්ඝනිස්ථානය
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්ථානයේ සියලු කඩුලු පන්දු වාර 20 අවසානයේ ලකුණු 187කට දැවී ගියේ ය.
එහිදී අවසන් පන්දුවට ලකුණු 2ක් අවශ්‍ය වී තිබූ අතර දෙවන ලකුණු වෙනුවෙන් පිතිකරුවන් දුව යමින් සිටියදී ෆසල්හක් ෆරූකි දුවද්දී දැවී ගියේ ය.
ඒ අනුව, කණ්ඩායම් දෙක ම සම ලකුණු ලබා සිටියේ ය.
පළමු සුපර් ඕවරය
ලකුණු සම වූ හෙයින් සුපර් ඕවර් නීතිය ක්‍රියාත්මක වූ අතර, එහිදී පන්දුවට පහර දුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම කඩුලු නොදැවී ලකුණු 17ක් රැස් කළේ ය.
මේ අතර, ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස් කළ හෙයින් නැවතත් ලකුණු සම විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙවන සුපර් ඕවරය
දෙවන සුපර් ඕවරය තුළ දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.
ඊට පිළිතුරු වශයෙන් ඇෆ්ඝනිස්ථානයට කඩුල්ලක් දැවී රැස් කළ හැකි වූයේ, ලකුණු 19ක් පමණි.
අවසන් පන්දු 4 තුළදී ලකුණු 24ක් රැස් කිරීමට සිදුව තිබිණි. එහිදී රමනුල්ලා ගුර්බාස් ඔහු මුහුණ දුන් පළමු පන්දු 3ට ම 6 පහර 3ක් එල්ල කළ අතර, අවසන් පන්දුවේදී උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ය.
ඒ අනුව, තරගයේ ජය දකුණු අප්‍රිකාව සතු විය.
































