ඉන්දීය-පකිස්ථාන තරග මතභේදය: ICC, බංග්ලාදේශ, පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් හමුවී සාකච්ඡා කළේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, PCB
- Author, මැතිව් හෙන්රි
- Role, බීබීසී
- කියවීමේ කාලය: මිනිත්තු 5
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පකිස්ථානය සහ ඉන්දියාව අතර මූලික වටයේ තරගය පෙබරවාරි 15 වන දින පැවැත්විය හැකි ද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයින් පකිස්ථානයට පැමිණීමෙන් පසු, පකිස්ථානය ඇතුළු ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පිළිතුරු අපේක්ෂාවෙන් සිටින ප්‍රශ්නය මෙය යි.
පකිස්ථානය ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ (පෙබරවාරි 08) ලාහෝර්හිදී රැස්වූ නමුත් එහි ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
ICC උපසභාපති ඉම්රාන් කවාජා සහ විධායක කමිටු සාමාජික මුබාෂිර් උස්මානි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි හමුවූ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් ද එම රැස්වීමට සහභාගී විය.
මීට පෙර, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, පකිස්ථානයට පැමිණි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානී අමිනුල් ඉස්ලාම් පකිස්ථාන නිලධාරි සල්මන් නසීර් විසින් පිළිගනු ලැබූ බව ය. පසුව, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ රැස්වීමේ ඡායාරූප ද ප්‍රකාශයට පත් කළේ ය.
"මම මේ දේවල් ගැන අදහස් දක්වන්නේ නැහැ, මේ ගැන අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු අදහසක් ඉදිරිපත් කරලත් නැහැ. සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත භාර දී තිබෙනවා. ඔවුන් මොන තීරණයක් ගත්තත්, අපි ඒක පිළිගන්නවා," යනුවෙන් ඉරිදා මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති රජීව් ශුක්ලාගෙන් විමසූ විට ඔහු පිළිතුරු ලබා දෙමින් පැවසුවේ ය.
ආරක්ෂක ගැටලු හේතුවෙන් බංග්ලාදේශය තම තරග ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස ඉල්ලා සිටීමත් සමග මතභේදය ආරම්භ වූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. ඉන්පසුව, පකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පෙබරවාරි 15 වන දින තම කණ්ඩායම ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කරන බව ය.
පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පසුව පැවසුවේ, බංග්ලාදේශයට සහය දැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, PCB
දැන් ඇති මතභේදය කුමක් ද?
පකිස්ථානය ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කළහොත් ඔවුන්ට තරගයේ ප්‍රසාද ලකුණු අහිමි වනු ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම තත්ත්වය ICC හි වත්මන් රූපවාහිනී අයිතිවාසිකම් පිළිබඳ ආරවුල් ද ඇති කළ හැකි අතර, වත්මන් ගිවිසුම් 2027 ලෝක කුසලානයෙන් පසුව කල් ඉකුත් වන බැවින්, පවතින අවිනිශ්චිතතාව අනාගත ගිවිසුම් කෙරෙහි ද බලපෑ හැකි ය.
ඉන්දියාවට එරෙහි විස්සයි 20 ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට ගත් තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අනතුරු අඟවා තිබිණි.
"අදාළ සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ විසඳුමකට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එලෙඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන" බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබිණි.
පකිස්ථානයේ තීරණය "බරපතළ ප්‍රතිවිපාක" ඇති කළ හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසීය.
ICC T20 ලෝක කුසලානය පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පෙබරවාරි 15 වන දින පැවැත්වීමට නියමිත ය.
කෙසේ වෙතත්, පෙබරවාරි 1 වන දින, පකිස්ථාන රජය X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පෙබරවාරි 15 වන දින පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට සමග ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසීමෙන් වැළකී සිටින බව ය.
"ආරක්ෂක හේතූන් මත තවත් රටක් වෙනත් රටක ක්‍රීඩා කරන්න ප්‍රතික්ෂේප කරනවා නම්, බංග්ලාදේශයට ද ඒ අයිතිය තියෙන්න ඕන" බංග්ලාදේශයට සහය දක්වමින් පකිස්ථානය පවසයි.
මෙය පසුගිය වසරේ පකිස්ථානයේ පැවති චැම්පියන්ස් කුසලානය ගැන සඳහන් කිරීමක් වන අතර, එහිදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අතර පසුව ඉන්දියාවේ තරග ඩුබායිහිදී පැවැත්විණි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ කුමක් ද?
පකිස්ථාන රජය එම ප්‍රකාශය නිකුත් කර පැය කිහිපයකට පසු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් මෙතෙක් නිල නිවේදනයක් තමන් වෙත ලැබී නොමැති බවත්, පකිස්ථානයේ තීරණය ගෝලීය ක්‍රිකට් පද්ධතියට බලපෑමක් එල්ල කළ හැකි බවත් ය.
"2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී තෝරා ගත් තරග සඳහා සහභාගී වීම වෙනුවෙන් සිය ජාතික කණ්ඩායමට අවසර ලබා දීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් තමන් සැලකිල්ලට ගෙන ඇත" යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.
"ක්‍රීඩා කිරීමේදී තරග තෝරා ගැනීම ගෝලීය තරගාවලියක ජීව ගුණයට පටහැනි වන අතර, එහිදී සියලු ම කණ්ඩායම් කාලසටහන සාධාරණ ලෙස අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරනවා." එමෙන් ම පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිදු නිල ප්‍රකාශයක් ලැබී නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
"ICC තරගාවලි පදනම් වී ඇත්තේ ක්‍රීඩාවේ අඛණ්ඩතාව, තරගකාරිත්වය, අනුකූලතාව සහ සාධාරණත්වය මත ය. තෝරාගත් සහභාගීත්වය මගින් මෙම තරගාවලියේ ජීව ගුණයට හා කීර්ති නාමයට හානි වෙනවා."
"ජාතික ප්‍රතිපත්තිමය කාරණාවලදී රජයන්ගේ කාර්ය භාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගරු කළත්, මෙම තීරණය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ පකිස්ථානයේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් ඇතුළු ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ යහපතට හේතු නොවේ."
"මෙම තීරණයේ බරපතළ දිගුකාලීන බලපෑම් ගැන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපේක්ෂා කරන අතර, එය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොටසක් වන සහ එයින් ප්‍රතිලාභ ලබන ගෝලීය ක්‍රිකට් පද්ධතියට බලපෑම් කළ හැකි යි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමාජ මාධ්‍යවල හුවමාරු වන අදහස්
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවෙමින් පවතින නමුත්, අවසන් තීරණය ලැබෙන තෙක් සියලු දෙනා බලා සිටිති.
"පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ICC අතර ඇති වූ කරුණු සමථයකට පත් වී ඇති බවත්, ඒ නිසා ඉම්රාන් කවාජා සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල සභාපති ලාහෝර් වෙත පැමිණ ඇති බවත්" හිටපු ක්‍රිකට් ක්‍රීඩක අබ්දුල් රාවුෆ් සටහනක් තබා ඇත.
"සිංගප්පූරු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉම්රාන් කවාජා ද නීතිඥයෙකු වන අතර ආරම්භයේ සිට ම පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ICC අතර මෙම ආරවුල විසඳීමට උත්සහ දරමින් සිටී. බලාපොරොත්තු විය හැකි පරිදි, ඔහු අවසන් නිවේදනයක් නිකුත් කරනු ඇත," ඔහු පැවසීය.
මෙම රැස්වීම්වලින් පසු යම් තීරණයකට එළඹිය හැකි බවට ඉන්දීය මාධ්‍යවේදී වික්‍රාන්ත් ගුප්තා ද බලාපොරොත්තු පළ කළේ ය.
"තීරණයක් ආසන්න බව පෙනෙනවා. ICC, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ බංග්ලාදේශය අතර සම්මුතියක් ඇති කර ගැනීමට සිදුවනු ඇති. නමුත් සැබෑ ප්‍රශ්නය වන්නේ පැහැදිලි ප්‍රතිඵලයක් ලැබේවි ද නැතහොත් මෙම ගැටලුව දිගට ම පවතින්නේ ද කියල යි," සමාජ මාධ්‍ය පරිශීලකයෙකු වන අනාස් සටහනක් තබමින් කියා සිටියි.
"පකිස්ථානය ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට එකඟ වුවහොත්, එය කාගේ ජයග්‍රහණයක් ද?" එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් සටහනක් තබා තිබිණි.

































