ඉන්දීය - පකිස්ථාන - බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් අර්බුදයේ වාසිය ශ්‍රී ලංකාවට ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/Facebook
- Author, බීබීසී සිංහල
අතීතයේ සිට ක්‍රිකට් රාජ්‍ය තාන්ත්‍රිකත්වයට විදේශ සබඳතාවලින් ඇති වන බලපෑම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන උදාහරණය ඉන්දියාව සහ පකිස්ථානය විය. එම සමාජයට දැන් ඊට අලුතින් ම එක්ව සිටින්නේ බංග්ලාදේශය යි.
බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් වටා නිර්මාණය වූ මෑත කාලීන වර්ධනයන් සමග, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් සබඳතා අවිනිශ්චිත අවධියකට පැමිණ ඇති අතර, සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ කවදා ද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැත.
මෙම තුන්කොන් ක්‍රිකට් අර්බුදය නිසා ICC T20 ලෝක කුසලානයේ පකිස්ථානය සහ බංග්ලාදේශය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි ද? එහි සැබෑ වාසිය හිමි වන්නේ කාට ද?
'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න, නැත්නම් පොයින්ට්ස් නැති කර ගන්න' - ICC බංග්ලාදේශයට කියයි
'එක්කෝ ඉන්දියාවේ ක්‍රීඩා කරන්න, නැතිනම් පොයින්ට්ස් අහිමි කරගෙන තරගාවලියෙන් ඉවත් වන්න.'- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.
අඟහරුවාදා පැවති ඔන්ලයින් රැස්වීමකින් පසුව ICC ය මෙම තීරණය බංග්ලාදේශයට දැනුම් දුන් බව ESPN Cricinfo පවසයි. ආරක්ෂක හේතූන් මත ඉන්දියාව හැර වෙනත් රටක තරග පැවැත්වීමට බංග්ලාදේශය කළ ඉල්ලීම ICC ය පිළිගෙන නොමැත.
කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටින්නේ, එවැනි අවසාන කොන්දේසි හෝ ICC වෙතින් 'අවසාන නිවේදනයක්' පිළිබඳව ඔවුන්ට දැනුම් දී නොමැති බව ය.
මේ අතර, අඟහරුවාදා රැස්වීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) හෝ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු නිල ප්‍රකාශයක් කර නොමැත.
බංග්ලාදේශයේ තරග ඉන්දියාවෙන් පිටත පැවැත්වීම පිළිබඳව 'සලකා බලන ලෙස' ඉල්ලා සිටිමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉරිදා ICC වෙත ලිපියක් ලිවීමෙන් පසුව ICCය මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Mustafizur Rahman | Facebook
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී මෙම තත්ත්වය ඇති වී තිබේ. තරගාවලිය පෙබරවාරි 7 වන දා ආරම්භ වී මාර්තු 8 වන දින අවසන් විමට නියමිත ය.
කලින් සැලසුම් කළ කාලසටහනට අනුව, 'C' කාණ්ඩයේ සිටින බංග්ලාදේශය, ඔවුන්ගේ පළමු තරග තුන කොල්කටාහිදී ක්‍රීඩා කරනු ඇත - පෙබරවාරි 7 වන දින බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව, පෙබරවාරි 9 වැනිදා ඉතාලියට එරෙහිව සහ පෙබරවාරි 14 වන දින එංගලන්තයට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම තරග වැදීමට නියමිතය. කණ්ඩායම් අදියරේ බංග්ලාදේශයේ අවසන් තරගය පෙබරවාරි 17 වන දින මුම්බායිහිදී නේපාලයට එරෙහිව පැවැත්වේ.
විරසකය ඇති වූයේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දෙසැම්බර් 16 වන දා අබුඩාබිහි පැවති 19 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා පැවති වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් රුපියල් කෝටි 9.2කට මිලදී ගන්නා ලදී.
වෙන්දේසියෙන් ටික දිනකට පසු, ඉන්දියාවේ හින්දු සංවිධාන කිහිපයක් මෙම තීරණයට එරෙහිව විරෝධතා දැක්වීමට පටන් ගත්හ. ඔවුන් KKR සහ එහි කොටස් හිමි ෂාරුක් ඛාන්ට එරෙහිව ව්‍යාපාරයක් දියත් කළේ, KKR 'බංග්ලාදේශ' ක්‍රීඩකයෙකු මිල දී ගැනීමෙන් ඉන්දියානුවන්ගේ හැඟීම් නොසලකා හැර ඇති බවට චෝදනා කරමිනි.
ඇතැම් X ගිණුම් මගින් මුස්තාෆිසුර් 'ත්‍රස්තවාදියෙකු' සහ 'සටන්කාමියෙකු' ලෙස ද ලේබල් කරන ලදී.
මෙම චෝදනාව පිටුපස, බංග්ලාදේශයේ සුළු ජාතීන්ට හිංසා පීඩා කිරීම සහ සුළු ජාතීන් කේන්ද්‍ර කර ගත් විවිධ සිදුවීම් ඔවුන් උපුටා දක්වා තිබිණි.
පසුගිය මාසයේ ඉන්දියාවේ විවිධ හින්දු සංවිධාන මෙම ගැටලුව සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් පැවැත්වූ අතර, දිල්ලියේ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය කරා පැවති පාගමනක් ද ඊට ඇතුළත් විය.
මෙම සිදුවීම් සන්දර්භය තුළ, ඔවුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් KKR කණ්ඩායමට ඇතුළත් කිරීම 'ඉන්දියානුවන්ගේ හැඟීම්වලට පටහැනි' තීරණයක් ලෙස හැඳින්වූහ.
මෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ජනවාරි 3 වන දින, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කළේ මුස්තාෆිසූර් රහ්මාන් කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් වෙත උපදෙස් දුන් බව ය.
BCCI ලේකම් ඩෙබ්ජිත් සයිකියා මාධ්‍යයට කළ ප්‍රකාශයේදී ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත හේතුවක් දක්වා නොමැති නමුත් "මෑත කාලීන සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව" ඔහු පැවසීය. එදින ම, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ද මුස්තාෆිසූර් කණ්ඩායමෙන් ඉවත් කිරීම නිල වශයෙන් තහවුරු කළේ ය.
සිද්ධියෙන් පැය 24ක් ඇතුළත, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) මේ සම්බන්ධයෙන් මණ්ඩල රැස්වීම් දෙකක් පැවැත්වීය.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එළඹෙන T20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන බව ය. ඒ සමග ම, බංග්ලාදේශයේ තරග ඉන්දියාවෙන් පිටත ස්ථානයක පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) විධිමත් ඉල්ලීමක් කර තිබේ.
බංග්ලාදේශ කණ්ඩායමේ 'ආරක්ෂාව' පිළිබඳ කනස්සල්ල බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල නිවේදනයේ සඳහන් වුවද, ආරක්ෂක හේතූන් මත මුස්තාෆිසුර් රහ්මාන් IPL සංචිතයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබේ ද යන්න පැහැදිලි කර නොමැත.
බංග්ලාදේශය IPL තරග විකාශය තහනම් කරයි
මේ අතර, ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා BCB විසින් BCCI වෙත ලිපියක් යවා ඇති බව ය. IPL වෙන්දේසියට පෙර මුස්තාෆිසූර් රහ්මාන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කළ ද, පසුව ඔහු කණ්ඩායමෙන් නිදහස් කළේ මන්දැයි පැහැදිලි කිරීමක් BCBට අවශ්‍ය බව එම ලිපියේ සඳහන් වේ.
කෙසේ වෙතත්, ESPN Cricinfo වාර්තාවකට අනුව, BCB එම ලිපියේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු කනස්සල්ලක් සඳහන් කර නොමැත.
බංග්ලාදේශ තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ මෑත තීරණයකින් පෙන්නුම් කරන පරිදි, ක්‍රිකට් සම්බන්ධයෙන් බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පවතින ආරවුල බංග්ලාදේශය කිසිදා නොවූ විරූ ලෙස බැරෑරුම් ලෙස සලකයි.
බංග්ලාදේශයේ සියලු ම රූපවාහිනී නාලිකාවලවලට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරග විකාශනය කිරීම තහනම් කරමින් එම අමාත්‍යාංශය සඳුදා, උපදෙස් නිකුත් කළේ ය.
ශ්‍රී ලංකාව සූදානම් ද?
ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (කොළඹ), සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණය (කොළඹ) සහ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය (මහනුවර) යන ක්‍රීඩංගණවලදී එම තරග පැවැත්වෙනු ඇත.
භූ දේශපාලනික සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර වර්ධනය වන ආතීතීන් මැද බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග සියල්ල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකියාවක් තිබේ ද? යන්න බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.
නම හෙළි නොකළ නිලධාරියෙකු පැවසුවේ, අවශ්‍ය නම් එම තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාව ඇති බව ය.
එහෙත්, ඉන්දියාව ක්‍රීඩා කරන තරග සඳහා සහභාගී වන දැවැන්ත ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණවල ආසන ධාරිතාව ප්‍රමාණවත් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු කාරණයකි.
දැවැන්ත අවධානයක් යොමුවන ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය
ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුවිශේෂී ම තරගයක් වන්නේ, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය යි. එය පෙබරවාරි 15 වන දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වනු ඇත.
දෙරට අතර ආතතීන් හේතුවෙන් ලොව කුමන ස්ථානයක ක්‍රීඩා කළ ද ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරග සඳහා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අනාවරණය කළේ, මෙම තරගය නැරඹීම සඳහා ඔන්ලයින් ඔස්සේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට 65000ක් පමණක් බලාපරොත්තුවෙන් සිටින බව ය.
එහෙත්, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාව 35000කි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ‍්, තවත් ආසන 20,000ක පමණ අවශ්‍යතාවක් ඇති බවවයි.














