ඉන්දියාව සමග ක්‍රීඩා නොකිරීමේ තීරණය 'නැවත සලකා බලන්නැයි' ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පකිස්ථානයට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා නොකිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කර තිබේ.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න ඒ බව තහවුරු කළේ ය.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය එළඹෙන පෙබරවාරි මස 15 වන දා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පකිස්ථාන අගමැතිගේ තීරණය

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව කණ්ඩායම් අදියරේ තරගය ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය "ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව" ගත් බවට පකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ් පවසා තිබේ.

ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කළ බංග්ලාදේශ කණ්ඩායමට සහයෝගය දැක්වීම එම තීරණයට එළඹීමට හේතු වූ බව පකිස්ථාන අගමැතිවරයා පසුගිය බදාදා (පෙබරවාරි 04) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවේදී පැවසූ බවට බීබීසී උර්දු සේවය වාර්තා කර තිබිණි.

"පකිස්ථානය සුවිශේෂී ස්ථාවරයකට එළඹ තිබෙනවා, මේ සම්බන්ධයෙන් බංග්ලාදේශය සමග සම්පූර්ණයෙන් ම නැගී සිටිය යුතු යි, මම හිතන්නේ එය නිවැරදි තීරණයක්" පකිස්ථාන අගමැතිවරයා එහිදී පවසා ඇත.

මේ අතර, ඉකුත් වසරේදී පකිස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගී වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ක්‍රීඩා කිරීමට තීරණය කළේ ය.

මෙම ක්‍රීඩාව කිරීමට ඔබට ජාවාස්ක්‍රිප්ට් සක්‍රීය කර ඇති නවීන බ්‍රව්සරයක් අවශ්‍ය වේ.
Source: Cricviz

විශාල මුදලක් අහිමි වීමේ අවදානමක්

ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගවලදී හිමි වන මූල්‍ය ආදායම අතිවිශාල මුදලක් ලෙස සැලකේ. පකිස්ථානය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ICC ආයතනයට ද මුදල් අහිමි විය හැකි ය.

ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය විකාශකයින්ට සහ වෙළෙඳ දැන්වීම්කරුවන්ට ද අතිශය වැදගත් වේ.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සඳහන් කළේ, ICC ලෝක කුසලාන තරගාවලියේදී තරග ප්‍රවේශ පත්‍රවල මුදල හිමිවන්නේ අදාළ ක්‍රිකට් තරග පැවැත්වෙන රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට බව ය.

ඒ අනුව, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයට වැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමි වන බැවින් එවැනි තරගයක් ක්‍රීඩා නොකිරීමෙන් තරගයේ සත්කාරකත්වය දරන රටේ ක්‍රිකට් පාලක ආයතනයට මූල්‍යමය වශයෙන් සිදුවන පාඩුව විශාල විය හැක.

ඉන්දියාව සමග තරගය ක්‍රීඩා නොකිරීමට තීරණය කර ඇති බවට පකිස්ථානය නිවේදනය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ දක්වා දෙරට අතර පෙබරවාරි මස 15 වන දා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කිරීම ප්‍රමාද කර තිබේ.

පකිස්ථාන සහ ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් තරගයක් නරඹමින් සිටින අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයට වැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමි වන බැවින් එවැනි තරගයක් ක්‍රීඩා නොකිරීමෙන් තරගයේ සත්කාරකත්වය දරන රටේ ක්‍රිකට් පාලක ආයතනයට මූල්‍යමය වශයෙන් සිදුවන පාඩුව විශාල විය හැක.

'ඒක අපේ තීරණයක් නෙවෙයි'

බීබීසී උර්දු සේවයේ මුන්සා අන්වර්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එවැනි ඉල්ලීමක් ලැබී ඇත් ද සහ එම ඉල්ලීම පකිස්ථාන ක්‍රිකට් ආයතනය සලකා බලන්නේ දැයි එහි මාධ්‍ය ප්‍රකාශක අමීර් මිර්ගෙන් විමසීමක් කළේ ය.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමීර් මිර් එම විමසීම පිළිබඳව තහවුරු කිරීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකී සිටිය අතර ඔහු කියා සිටියේ "ඉන්දියාව සමග ක්‍රීඩා කිරීමේ තීරණය අපේ එකක් නෙමෙයි, ඒක රජයේ තීරණයක්," යනුවෙනි.

මේ අතර, බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න කියා සිටියේ, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කරන ලද ලිපියට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ය.

ඉන්දියාව සහ පකිස්ථාන ක්‍රිකට් නායකයින් පසුගිය වසරේ ආසියානු කුසලානය සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඉන්දියාව සමග තරග කරන එක අපේ පාලනයේ නැහැ. මේක රජයේ තීරණයක් නිසා අපි ඒකට ගරු කරනවා. ඔවුන් කියන ඕනෑ දෙයක් අපි කරනවා."

'අපි ක්‍රීඩා කරන්න බැහැයි කියලා නැහැ.. අනෙක් පාර්ශවය ප්‍රතික්ෂේප කරලා තියෙනවා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදී, නායක සූර්යකුමාර් යාදව්, පෙබරවාරි 15 ​​වන දින පැවැත්වෙන තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කළේ ය. තරගය අවලංගු කිරීම සම්බන්ධයෙන් තම කණ්ඩායමට කිසිදු උපදෙසක් ලැබී නොමැති බව ද ඔහු පැවසීය.

"මානසිකත්වය පැහැදිලි යි... අපි ක්‍රීඩා කරන්න බැහැයි කියලා නැහැ. අනෙක් පාර්ශවය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ICC ය තරගාවලිය ලබා දී තිබෙනවා, රජය මධ්‍යස්ථ ස්ථානයක් තීරණය කර තිබෙනවා. කොළඹට යන අපගේ ගුවන් ගමන වෙන්කරවලා තිබෙනවා. අපි යනවා. ඉතිරිය බලාගමු," ඔහු පැවසුවේ ය.

මේ අතර, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සල්මන් අලි ආගා මාධ්‍ය හමුවකදී මෙලෙස පැවසුවේ ය. "ඉන්දියාව සමග තරග කරන එක අපේ පාලනයේ නැහැ. මේක රජයේ තීරණයක් නිසා අපි ඒකට ගරු කරනවා. ඔවුන් කියන ඕනෑ දෙයක් අපි කරනවා."

කෙසේ වෙතත්, අර්ධ අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් දෙක එකිනෙකාට මුහුණ දෙන්නේ නම් කුමක් කළ යුතු දැයි විමසූ විට, පකිස්ථාන නායකයා ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි, "අපිට (ඉන්දියාව) නැවත අවසන් පූර්ව තරගයේදී හෝ අවසන් මහා තරගයේදී ක්‍රීඩා කිරීමට සිදුවුවහොත්, අපි නැවතත් අපේ රජයෙන් ලැබෙන උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා."