'මේකේ ප්‍රතිවිපාකය දීර්ඝ කාලීනයි': ඉන්දීය තරගයෙන් ඉවත්වීම ගැන ICC පකිස්ථානයට අනතුරු අඟවයි

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, අසාද් සොහායිබ්
- Role, බීබීසී උර්දු
- වාර්තාකරණය, ඉස්ලාමාබාද්
- කියවීමේ කාලය: මිනිත්තු 8
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සමග ක්‍රීඩා නොකිරීමට පකිස්ථානය ගත් තීරණයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා සිටින අතර, එසේ නොවුණහොත් පකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට දිගුකාලීන ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු අඟවයි.
2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට පූර්ණ වශයෙන් සහභාගි නොවීමට පකිස්ථාන රජය ගෙන ඇති තීරණය සැලකිල්ලට ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
"ගෝලීය තරග ඉසව්වකට සහභාගී වන සියලු ම කණ්ඩායම් එකඟ වූ කාලසටහනට අනුව සමාන පදනමක් මත තරග කරනු ඇතැයි අපේක්ෂා කරනවා," පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසූ අතර, අර්ධ වශයෙන් සහභාගී වීම ගෝලීය තරගාවලියක මූලික අදහසට පටහැනි බව අවධාරණය කළේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, සිය තරගාවලියේ සාධාරණත්වය, අඛණ්ඩතාව සහ සමාන තරගකාරිත්වය මත ගොඩනගා ඇති බව සහ අර්ධ සහභාගීත්වය ක්‍රීඩාවේ ජීවගුණයට හානි කරන බව ය.
"ජාතික ප්‍රතිපත්තිමය කාරණාවලදී රජයක භූමිකාවට ගරු කරන නමුත්, මෙම තීරණය ක්‍රීඩාවේ හෝ පකිස්ථානයේ මිලියන සංඛ්‍යාත රසිකයන් ඇතුළු ලොව පුරා රසිකයන්ගේ යහපතට හේතු නොවේ" නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසීය.
"පකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙම තීරණයෙන් ඇති වන දිගුකාලීන ප්‍රතිවිපාක පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වේ. එය ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට ද බලපාන අතර, එහිදී පකිස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි," යනුවෙන් නිවේදනයේ සඳහන් වේ.
තරගාවලිය සාර්ථක කර ගැනීම තම ප්‍රධාන ඉලක්කය බවත්, පකිස්ථානය ඇතුළු සියලු ම ICC සාමාජිකයින් සතුව ද එම වගකීම පවතින බවත් එම නිවේදනයේ සඳහන් විය.
"සියලු දෙනාට ම පිළිගත හැකි සහ සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන තීරණයකට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වේ," යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.
පකිස්ථානය ගත් තීරණය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පකිස්ථාන රජය සිය ක්‍රිකට් කණ්ඩායමට T20 ලෝක කුසලානයට සම්බන්ධ වීමට අවසර දී ඇති නමුත් ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරන බවට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඉරිදා පකිස්ථාන රජය පැවසුවේ, 2026 ICC T20 ලෝක කුසලානයට පකිස්ථානයට ක්‍රීඩා කළ හැකි නමුත් 2026 පෙබරවාරි 15 වන දින ඉන්දියාවට එරෙහි තරගයට කණ්ඩායම සහභාගී නොවන බව ය.
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවට එරෙහි තරග සඳහා ක්‍රීඩා කිරීමට අවසර නොදෙනු ඇති බවට බොහෝ වාර්තා පැතිර යමින් තිබූ පසුබිමක පකිස්ථාන රජයේ මෙම නිවේදනය නිකුත් කර තිබිණි.
පසුගිය සතියේ, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ් සමග පැවති හමුවකින් අනතුරුව පැවසුවේ, "සියලු විකල්ප සලකා බැලීමෙන් ගැටලුව විසඳා ගැනීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති" බව ය.
ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර ඒ වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ආදේශ කළේ ය.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ICC තීරණය 'අසාධාරණ' ලෙස හැඳින්වූ අතර එය දෙබිඩි පිළිවෙතක් බවට ද චෝදනා කළේ ය.
"අනෙක් ඕනෑ ම රටකට මෙන් බංග්ලාදේශයටත් එම මූලධර්මය ම අදාළ විය යුතු යි. ආරක්ෂක හේතු මත රටක් වෙනත් රටක ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, බංග්ලාදේශයටත් එම අයිතිය තිබිය යුතු යි," ඔහු පැවසීය.
"මෙම තත්ත්වය තුළ, ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට කණ්ඩායමක් යැවීමට රජය දැන් තීරණය කර ඇති අතර, බංග්ලාදේශයට සාධාරණය ඉටු නොවන්නේ නම්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවශ්‍ය නම් 22 වන කණ්ඩායම ද ඊට එකතු කළ හැකි බව," ඔහු පැවසීය.
"පළමුව තීරණය එන තෙක් බලා සිටිමු; අපට සැලසුම් A, B, C සහ D තිබෙනවා." පකිස්ථානය T20 ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන්නේ නම් වෙනත් සැලැස්මක් ගැන විමසූ විට, මොහ්සින් නක්වි පැවසුවේ ය.
'බංග්ලාදේශය ප්‍රකෝප කරවීමට පාකිස්ථානය විශාල කාර්යභාරයක් කර තිබෙනවා'
බංග්ලාදේශය විස්සයි 20 ලෝක කුසලානය වර්ජනය කිරීමට පකිස්ථානය පෙළඹවීම් කරන බවට ඉන්දියාව මීට පෙර පකිස්ථානයට චෝදනා කළේ ය.
මෙම වසරේ ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව සහතික කර තිබූ නමුත් පකිස්ථානය "අනවශ්‍ය ලෙස මැදිහත් වූ" බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති රජිව් ශුක්ලා පැවසීය.
"අපිට ඕන වුණේ බංග්ලාදේශය ක්‍රීඩා කරවන්න. අපි ඔවුන්ගේ ආරක්ෂාව සහතික කළා, නමුත් ඔවුන් කණ්ඩායම යොමු නොකරන්න තීරණය කළා. ඔවුන් කිව්වා කණ්ඩායම ඉන්දියාවට යැවිය නොහැකි බවත්, කොළඹ ක්‍රීඩා කරන බවත්," සම්මුඛ සාකච්ඡාවකදී රජීව් ශුක්ලා පැවසුවේ ය.
"අවසාන මොහොතේ සම්පූර්ණ කාලසටහන වෙනස් කිරීම ඉතා අපහසු යි, ඒ නිසා ICC එකට ස්කොට්ලන්තය ගේන්න සිද්ධ වුණා. බංග්ලාදේශයට හිතන්න තිබුණා, ක්‍රීඩා කරන්න තිබුණා. අපිට අවශ්‍ය වෙන්නේ ඒක යි."
"කිසි ම හේතුවක් නොමැතිව පකිස්ථානය මේකට සම්බන්ධ වුණා. බංග්ලාදේශය කුපිත කිරීමේදී පකිස්ථානය විශාල කාර්ය භාරයක් කර තිබෙනවා," පකිස්ථානය ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ ය.
"පකිස්ථානය මේ සියල්ල නොකළ යුතුව තිබුණි. බංග්ලාදේශ ජාතිකයින්ට, පකිස්ථානය කළ දේ ලෝකය ම දන්නවා, බංග්ලාදේශ ජාතිකයන් ද එය දන්නවා. ඒ අවස්ථාවේ රටේ ජනතාව මත දෙකක හිටියේ."
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයා පැවසුවේ, පකිස්ථානය දැන් බංග්ලාදේශයේ අනුකම්පාව ලබා ගැනීමට සහ ඔවුන්ට වැරදි ආකාරයෙන් බලපෑම් කිරීමට උත්සහ කරන බවත්, එය නිවැරදි නොවන බවත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිදුවිය හැකි මූල්‍යමය පාඩුව
ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කරන බව පකිස්ථානය නිවේදනය කළ ද, ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයට විශේෂයෙන් මුම්බායිහි ක්‍රීඩා විකාශන කර්මාන්තයට අයත් පුද්ගලයින් එම තීරණය අවසාන තීරණයක් ලෙස නොසලකති. රජයේ නිවේදනය වෙනස් විය හැකි යැයි ඔවුහු විශ්වාසය කරති.
මේ සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිල වශයෙන් ලිපියක් යවා තිබේ ද යන්න තවමත් පැහැදිලි නැත.
ඉන්දියාවට එරෙහි තරගය පමණක් මග හැරියහොත් පකිස්ථානයට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරති.
කිසිදු සාමාජිකයෙකුට තරග කාලසටහන නොසලකා හැර තනිව ම තීරණ ගැනීමට ඉඩදීම ICCහි ස්ථාවරය නොවේ.
ICC පවසන්නේ, මෙය එහි අධිකාරියට අභියෝග කරන බැවින්, ඒ සම්බන්ධයෙන් ඩුබායිහි පිහිටි මූලස්ථානයෙන් ඊට අදාළව පියවර ගැනීමට ඉඩ ඇති බව ය.
තත්ත්වය සංකීර්ණ වුවහොත් ICC ය දැඩි තීරණ කිහිපයක් ගැනීමට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පැවසීය.
පකිස්ථාන ක්‍රිකට් ලීගය විදේශීය ක්‍රීඩකයින් සඳහා විරෝධතා නොමැති බවට සහතික ලබා නොදීම, ආසියානු කුසලානයෙන් පකිස්ථානය ඉවත් කිරීම හෝ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ICC ය විසින් දෙනු ලබන ආදායම අත්හිටුවීම මෙයට ඇතුළත් විය හැකි ය.
2026 T20 ලෝක කුසලානයේ තරග 55න් එකක් වන ඉන්දියා-පකිස්ථාන තරගය වඩාත් උද්යෝගිමත් සහ වාණිජමය වශයෙන් වැදගත් තරගයක් ලෙස සැලකේ. එය වැඩි ම නරඹන්නන් පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නා තරගයක් වන අතර, වෙළෙඳ දැන්වීම් සහ විකාශනය අතින් ද විශාල ආදායමක් උපදවයි.
මෙම තරගය හුදෙකලා කර විශ්ලේෂණය කිරීම අපහසු ය. මන්ද එය සමස්ත තරගාවලියේ ම කොටසක් වන බැවිනි.
සාමාන්‍යයෙන්, ඉන්දියාවේ සෑම ජාත්‍යන්තර තරගයක ම වටිනාකම ඩොලර් මිලියන 10–11ක් පමණ වන අතර එය ඉන්දියානු රුපියල් කෝටි 100කට ආසන්න ය.
විශේෂඥයින්ට අනුව, ඉන්දියා-පකිස්ථාන තරගයේ මූල්‍ය වටිනාකම සාමාන්‍ය තරගයකට වඩා දෙගුණයක් හෝ ඊටත් වඩා වැඩි විය හැකි ය. ඒ අනුව, මෙම තරගය අවලංගු කළහොත්, අවම වශයෙන් රුපියල් කෝටි 200කට වඩා පාඩුවක් සිදුවීමේ අවදානමක් පවතී.
මෙම දැවැන්ත මූල්‍යමය පාඩුව පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයට පමණක් නොව, ICC, තරග විකාශකයින්, අනුග්‍රාහකයින් සහ සංවිධායකයින්ට ද බලපෑම් එල්ල කළ හැකි ය. එය ලෝක කුසලානයේ සමස්ත ආකර්ෂණයට සහ වාණිජ වටිනාකමට ද හානි කළ හැකි ය.
සමස්තයක් වශයෙන් පකිස්ථානය ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කළහොත්, එය ඔවුන්ට මූල්‍යමය වශයෙන් හානියක් ගෙන දිය හැකි අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව හමුවේ ඔවුන්ගේ ස්ථානය දුර්වල වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම තීරණය කෙරෙහි පකිස්ථානයේ ප්‍රතිචාරය කුමක් ද?
"පකිස්ථානය ලෝක කුසලානයට ක්‍රීඩා කළත් ඉන්දියාවට එරෙහිව තරගයක් ක්‍රීඩා නොකළහොත්, ICCය එයට ප්‍රතිචාර දක්වන ආකාරය බලාසිටීම සිත්ගන්නාසුලු දෙයක් වෙයි," යනුවෙන් ජනප්‍රිය ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් පැවසීය.
නීතිමය ගැටලු හසුරුවන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැති බව ඔහු පැවසීය. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවශ්‍ය නම්, තරග විකාශකයින්ට සිදුවන පාඩු පියවා ගැනීම සඳහා පකිස්ථානයේ තරග ආදායමෙන් කොටසක් ලබා ගත හැකි ය. ඉන්දියාව සහ පකිස්ථානය අවසන් තරගයට ක්‍රීඩා කළහොත් කුමක් සිදුවේ දැයි ඔහු විමසයි.
"තරගාවලි ව්‍යුහය නිසා ඔවුන් මුණගැසෙනු ඇතැයි නිශ්චිත නැහැ. නමුත් ලෝක කුසලාන අවසන් තරගයේදී පකිස්ථානය ඉන්දියාවට මුහුණ දුන්නොත් ඒ තරගය ක්‍රීඩා කරයි ද?" හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් විමසීය.
ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමේ තීරණයට සහය පළ කරමින් පකිස්ථානයේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන් ම පිතිකරුවෙකු ද වූ කම්රන් අක්මාල් කියා සිටියේ, එය බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීරණයක් බව ය.
"ඇති කියන්නේ ඇති. අපිට මේ තීරණය ගන්න සිද්ධ වුණා. ඉන්දියාව දේශපාලනය ක්‍රීඩාව එක්ක එකතු කරලා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට දිගින් දිගට ම හානි කරලා තියෙනවා. ඒ නිසා රජයේ දැඩි ස්ථාවරයට අප සහය දිය යුතු යි," කම්රන් අක්මාල් AFP ප්‍රවෘත්ති ඒජන්සිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
මේ අතර, "ඉන්දියාව ICC තරගාවලියකදී පකිස්ථානය පරාජය කළ දිනයේදී (ඉරිදා ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති 19න් පහළ ලෝක කුසලාන තරගය) ඉන්දියාව සමග ක්‍රීඩා නොකරන බව නිවේදනය කර තිබෙනවා. මේක කුහකකමක් නෙවෙයි ද?" තවත් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ආකාෂ් චොප්රා ප්‍රශ්නයක් මතු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
පකිස්ථානය වර්ජනය කළහොත්...
පකිස්ථානය A කාණ්ඩයේ ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමග තරග කිරීමට නියමිත ය.
තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දරන අතර, පකිස්ථානය සිය සියලු ම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනු ඇත.
විස්සයි 20 ලෝක කුසලානයේ ආරම්භක දිනය වන පෙබරවාරි 7 වන දින නෙදර්ලන්තයට එරෙහිව පකිස්ථානය සිය පළමු තරගයට ක්‍රීඩා කරනු ඇත.
මෙයින් පසු, පෙබරවාරි 10 වන දින ඇමරිකාවට එරෙහිව සහ පෙබරවාරි 18 වන දින නැමීබියාවට එරෙහිව තරග පැවැත්වේ.
ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කළහොත් එම තරගය වෙනුවෙන් පකිස්ථානයට ලකුණු දෙකක් අහිමි කර ගැනීමට සිදුවනු ඇත.
ICC නීතිරීතිවලට අනුව, තරගය වර්ජනය කළහොත් එය පකිස්ථානයේ දළ ලකුණු ලබා ගැනීමේ අනුපාතයට බලපානු ඇත, නමුත් ඉන්දියාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයට එය බලපෑමක් එල්ල නොකරනු ඇත.
පෙබරවාරි 15 වන දින පැවැත්වෙන තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ICC නීතිරීති අනුගමනය කරනු ඇති බවත්, කාලසටහනට අනුව කටයුතු කරනු ඇති බවත්, මාධ්‍ය සාකච්ඡා පවත්වනු ඇති බවත්, නියමිත වේලාවට ක්‍රීඩාංගණයට පැමිණෙන බවත්, විනිසුරුවරයා තරගය අවලංගු කරන තෙක් බලා සිටින බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග පැවසූ බව ANI පුවත් ඒජන්සිය වාර්තා කළේය.
































