T - 20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ පෙරළිකාර ජයග්‍රහණ 6ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 T20 ලෝක කුසලාන තරගාවලිය අද (පෙබ: 07) ආරම්භ වෙයි. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී එම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.
මෙවර 09 වන වරට පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් දරනු ලැබේ.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහ තරගය ද ඇතුළුව මෙවර තරගාවලියේදී ක්‍රීඩා කිරීමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 55කි. දැනට ICC ය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති තරග කාල සටහනට අනුව ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග සංඛ්‍යාව 20කි.
ICC පිරිමි T20 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සිදුවූ පෙරළිකාර සිදුවීම් කිහිපයක් දෙස ආපසු හැරී බැලීමකි, මේ.
01. ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ හැටි
විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ පළමු තරගාවලිය ක්‍රීඩා කළ 2007 වසරේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අමතක නොවන මතකයක් ඉතිරි කර දීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
2007 වසරේ පැවති පළමු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සිව්වන තරගය ලෙස පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
එහිදී සිම්බාබ්වේ පන්දු යවන්නෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු වන මැතිව් හේඩ්න්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ රිකි පොන්ටින් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට සමත් වූහ.
ඇන්ඩෲ සයිමන්ඩ්ස්, බ්‍රෙට් ලී සහ බ්‍රැඩ් හොජ් හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට ඉඩ නොදුන් සිම්බාබ්වේ පන්දු යවන්නෝ, ඔස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 20කදී කඩුලු 09ක් දැවී ලකුණු 138කට සීමා කිරීමට සමත් වූහ.
ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම 20 වන පන්දු වාරයේ පස් වන පන්දුවේදී සිය ජයග්‍රාහී ලකුණ රැස් කිරීමට සමත් වූයේ, ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමිනි.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 60ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
02. නෙදර්ලන්තය වාර්තා කළ සුපිරි ජයග්‍රහණය
විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේදී එංගලන්ත කණ්ඩායමට අමිහිරි මතකයක් ගෙන දුන් සිදුවීමක් වූයේ 2009 වසරේදී ඔවුන් නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ලද පරාජය යි.
පළමු වරට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත් නෙදර්ලන්ත කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තා කළ මෙම ජයග්‍රහණය අදටත් සුවිශේෂි තරගයක් ලෙස ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ පවතී.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 163ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 164ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත පිතිකරුවෝ සිය අවසන් පන්දුවේදී තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට සමත්වූහ.

ඡායාරූප මූලාශ්‍රය, ICC
03. සුපිරි ඕවරයේදී ඇමෙරිකාව හමුවේ පරාජයට පත්වූ පකිස්ථානය
2024 ICC විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඇමෙරිකාව, ප්‍රබල පකිස්ථාන කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන පිතිකරුවන් නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 07ක් දවා ගනිමින් ලකුණු 159කට සීමා කිරීමට ඇමෙරිකානු පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් දෙවනුව පන්දුවට පහර දුන් ඇමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 159ක් රැස් කිරීම හේතුවෙන් තරගයේ ප්‍රතිඵලය සඳහා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.
ඇමෙරිකා එක්සත් ජනපදය සුපිරි පන්දු වාරයේදී ලකුණු 18ක් රැස් කළ අතර පිළිතුරු වශයෙන් පකිස්ථානයට රැස් කළ හැකි වූයේ, ලකුණු 13 ක් පමණි. ඒ අනුව, විස්සයි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇමෙරිකානු කණ්ඩායම සමත් විය.
04. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අමිහිරි පරාජයක් ගෙන දුන් ඇෆ්ඝනිස්ථානය

ඡායාරූප මූලාශ්‍රය, ICC
2016 වසරේදී ඉන්දියාවේදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
කොදෙව් කණ්ඩායම දෙවන වරටත් විස්සයි 20 ලෝක ශුරයින් බවට පත්වීමට අවස්ථාව උදා කර ගත්ත ද එවර තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අසරණ කිරීමට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සමත් විය.
එම තරගයේදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර, එහිදී ඔවුහු පන්දුවාර 20කදී කඩුලු 07කට ලකුණු 123ක් රැස් කිරීමට සමත්වූහ. ඇෆ්ඝානිස්ථාන කණ්ඩායම වෙනුවෙන් නජිබුල්ලා සඩ්‍රාන් පන්දු 40කදී ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 124ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 117ක් පමණි.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 07ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය.
05. එංගලන්ත කණ්ඩායමට අමිහිරි පාඩමක් ඉගැන්වූ අසල්වැසියා

ඡායාරූප මූලාශ්‍රය, ICC
2022 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්ත කණ්ඩායම, ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගය බොහෝ දෙනාගේ අවධානය යොමුවූ තරගයක් වූයේ, ඊට වසර 10කට පෙර පැවති පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්තය විසින් එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරනු ලැබ තිබූ හෙයිනි.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවති එංගලන්තය සහ අයර්ලන්තය අතර විස්සයි 20 ලෝක කුසලාන තරගයට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී සියලු කඩුලු දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එංගලන්ත කණ්ඩායම පන්දු වාර 15දී තරගය අත්හිටුවීමට තීරණය කරන ලද අතර, ඒ වන විට එංගලන්ත කණ්ඩායාමේ ලකුණු පුවරුව දිස්වූයේ, ලකුණු 105කට කඩුලු 05ක් ලෙස යි.
ඒ අනුව, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 05ක් පසු පසින් සිටීම නිසා තරගයේ ජය හිමි කර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
06. ලෝක ශුරයින් පරාජය කළ නැමීබියාව

ඡායාරූප මූලාශ්‍රය, ICC
විස්සයි 20 ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකාවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට නැමීබියාව සමත් වීම 2022 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී සිදුවී තවත් සුවිශේෂී සිදුවීම්වලින් එකක් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියාව ලකුණු 163ක් වාර්තා කිරීමට සමත් විය. ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ.
විස්සයි 20 ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැමීබියා පන්දු යවන්නන් හමුවේ පන්දු වාර 19කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 108ක් පමණි.
පන්දු යැවීමේදී නැමීබියානු පන්දු යවන්නන් සිව් දෙනෙකු කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක් විය.

































