වනිඳු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එක්වූ දුෂාන් හේමන්ත කවුද?

දුෂාන් හේමන්ත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ICC T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට දුෂාන් හේමන්ත ඇතුළත් කර තිබේ.

ICC T20 ලෝක කුසලාන තරගාවලිවලදී ලොව වැඩි ම කඩුලුලාභී පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ වනිඳු හසරංග යි.

ඒ, තරග 20කදී කඩුලු 40ක් දවා ගනිමිනි.

ICC T20 ලෝක කුසලාන තරගාවලිවලදී ලොව වැඩි ම කඩුලුලාභී පන්දු යවන්නා වන්නේ ශකිබ් අල් හසන් ය. තරග 43කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 50කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට කලවා ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශි ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.

වනිඳු හසරංග තරගාවලියෙන් ඉවත්වීම තරගාවලියේ සම-සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ආකාරයක පසුබෑමක් විය හැකි බව විශ්ලේෂකයින්ගේ අදහස යි.

2026 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති පළමු තරගයේදී ද වනිඳු හසරංග කඩුලු තුනක් දවා ගත්තේ ය. එම තරගයේදී ඔහු මෙම ආබාධයට ලක්විය.

වනිඳු වෙනුවට ශ්‍රී ලංකා සංචියට දුෂාන් හේමන්ත ඇළත් කිරීම සඳහා ICC තාක්ෂණික කමිටුව (ETC) අනුමතැය ලබා දී තිබේ.

ආදේශයක් ලෙස ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කිරීමට පෙර, ඒ සඳහා ඉසව් තාක්ෂණික කමිටුවේ (ETC) අනුමැතිය අවශ්‍ය වේ.

දුෂාන්ගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සුපිරි අට දෙනාගේ තරග වටයට පිවිසීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට දිනයේ (පෙබරවාරි 12 වන බ්‍රහස්පතින්දා) ඕමාන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත ය.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ප්‍රමෝද් මධුෂාන් එක්ව සිටිති.

වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එක්වන දුෂාන් හේමන්ත යනු කවුද?

වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට එක්වූ දුෂාන් හේමන්ත පසුගිය වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මංගල තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කර තිබේ.

31 හැවිරිදි වියේ පසුවන දුෂාන් හේමන්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

දකුණතින් පන්දුවට පහර දෙන දුෂාන් හේමන්ත ලෙග්බ්‍රේක් පන්දු යවන්නෙක් වන අතර T20 තරගවලදී ඔහු කඩුලු 82ක් දවා ගෙන ඇති අතර T20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු 4ක් දවා ගෙන තිබේ.

ඔහු ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 5කි.

දුෂාන් හේමන්ත සීමිත ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් පමණක් ක්‍රීඩා කර ඇතත්, ඔහු ලීග් කණ්ඩායම් රැසක් නියෝජනය කරයි.

බදුරලිය ක්‍රීඩා සමාජය, කොල්ට්ස් ක්‍රීඩා සමාජය, දිල්ලි බුල්ස්, ගල්ෆ් ජයන්ට්ස්, දඹුල්ල, දඹුල්ල සික්සස් ඇතුළු කණ්ඩායම් ඔහු නියෝජනය කර තිබේ.

දුෂාන් හේමන්ත කොළඹ, ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි.