ඉන්දු - පකිස්ථාන තරගවලට මෙතරම් අවධානයක් ලැබී ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
විවිධ අවිනිශ්චිතතා පැවතිය ද, සියලු බාධා ඉවත් කර ගනිමින් ඉන්දියාව සහ පකිස්ථානය 2026 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයට අද (පෙබ: 15) සහභාගි වීමට සූදානමින් සිටී.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත ය.
ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරග ලොව ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි ම අවධානයක් යොමුවන ක්‍රිකට් තරග ලෙස සැලකෙන අතර මෙවර තරගයට එම අවධානය තවත් වැඩි වී තිබේ.
දකුණු ආසියාවේ අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින භූ දේශපාලන මත ගැටුම් අද වන විට ක්‍රීඩා පිටියට ද පිවිස ඇති බව හොදින් දැක ගත හැකි වූයේ, පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ය.
මෙම රටවල් දෙක අතර පැවැත්වෙන ක්‍රිකට් තරග කෙරෙහි අධික ප්‍රේක්ෂක අවධානයක් හිමි වීමට බලපා ඇති කරුණු පිළිබඳ විශ්ලේෂණයකි, මේ.
ඉන්දු - පකිස්ථාන ක්‍රිකට් තරග ඉතිහාසය
1952/53 ටෙස්ට් තරගාවලිය ඉන්දියාව සහ පකිස්ථානය ප්‍රතිවාදී කණ්ඩායම් ලෙස පිටියට පිවිස එක්ව ක්‍රීඩා කළ පළමු ක්‍රිකට් තරගාවලිය වන අතර එතැන් සිට මෙම අසල්වැසි රාජ්‍යයන් දෙක ක්‍රිකට් පිටියේදී දක්වා ඇති දක්ෂතා රැසක් තිබේ.
ඉන්දියාව සහ පකිස්ථානය අතර එක්දින තරග 136ක් පවත්වා ඇති අතර මෙම තරග 136 න් 58ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇත. පාකිස්ථානය අවස්ථා 73 කදී ජයග්‍රහණය කර තිබෙන අතර තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
එමෙන් ම දෙරට අතර ටෙස්ට් තරග 59ක් ක්‍රීඩා කර ඇති අතර, මෙම තරග 59න් ඉන්දියාව තරග 9ක් ජයග්‍රහණය කර ඇති අතර පාකිස්ථානය තරග 12ක් ජයග්‍රහණය කර ඇත.
දෙරට අතර පැවති ටෙස්ට් තරග 38ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ඉන්දියාව සහ පකිස්ථානය අතර විස්සයි 20 තරග 16ක් පවත්වා ඇති අතර ඉන් තරග 13ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර පකිස්ථානය තරග 3කදී ජයග්‍රහණය ලබා ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී පමණක් පැවැත්වෙන ඉන්දු - පකිස්ථාන තරග
මෙම රටවල් දෙක අතර අවසන් වරට ද්විපාර්ශවික ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ, 2012 වසරේදී වන අතර ඉන් පසුව ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායම් ලෙස පිටියට එක්ව තරග වැදී ඇත්තේ ආසියානු කුසලානය, ICC ලෝක කුසලානය සහ ICC චැම්පියන් ශුරතා තරගාවලි සඳහා පමණක් වීම විශේෂත්වයකි.
මෙම රටවල් දෙක අතර ක්‍රිකට් තරග ලෝක කුසලාන තරගාවලිවලදී පමණක් පැවැත්වීම හේතුවෙන්, අතිශය උණුසුම් එවැනි තරග දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට හිමි වන අවස්ථා දුර්ලභ ය.
දෙරට අතර තරග සඳහා දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ, එය විය හැකි ය.
ඉන්දු - පකිස්ථානය අර්බුදය තීව්‍ර කළ බංග්ලාදේශයේ ඉල්ලීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බංග්ලාදේශයේ ඇති වූ Gen Z විරෝධතාවලින් පසු ෂෙයික් හසීනා රජය පෙරළා දැමීමත් සමග හිටපු අගමැතිනිය රැකවරණය පතා ඉන්දියාවට පලා යාමෙන් අනතුරුව ඇති වූ දේශපාලන පසුබිමත් සමග හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය අද වන විට දෙරට අතර විරසකභාවයකට මග පාදා ඇත.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ අතර, ඇය නැවත බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටිය ද ඉන්දියාව මේ දක්වා ඊට ප්‍රතිචාර නොදැක්වීම සහ ඉන්පසුව බංග්ලාදේශයේ වෙසෙන හින්දු ජාතිකයින්ට එල්ල වූ ප්‍රහාර හමුවේ රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී තමන් ක්‍රීඩා කරන තරග ඉන්දියාවේ නොපවත්වා ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවසානයේදී බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි.
මෙම තත්ත්වය හමුවේ පකිස්ථානය සිය අසල්වැසි මිතුරු රාජ්‍යයක් වන බංග්ලාදේශයට අසාධාරණයක් වූ බව පවසමින් පළමුවෙන් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන බවට ප්‍රකාශ කර සිටිය ද අවසන් මොහොතේදී එම තීරණය වෙනස් කිරීමට තීරණය කළේ විවිධ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මධ්‍යයේ ය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂකයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, එවන් පසුබිමක් මත අද (පෙබ: 15) පැවැත්වෙන ඉන්දු - පකිස්ථාන තරගයට වැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමිවී තිබෙන බව ය.
''මේ තරගය පැවැත්වීම ඉතා වැදගත්. මොක ද ඉන්දියාව සහ පකිස්ථානය අතර 1947 වසරේදී ඇති වුණ භූදේශපාලන තත්ත්වයත් එක්ක දෙරට අතර පැවැත්වෙන තරගවලට විශාල අවධානයක් හිමි වෙනවා.''
''ඒ වගේ ම වැඩි ම වාණිජමය වටිනාකමක් ලැබෙන තරගය වෙන්නෙත් මේ ක්‍රිකට් තරගයයි, ලෝක කුසලාන තරගාවලියකදී.''
''අනෙක් පැත්තෙන් වර්තමානයේ ඉන්දියාව - බංග්ලාදේශය වගේ ම ඉන්දියාව - පකිස්ථානය අතර ඇති වෙලා තියෙන භූ දේශපාලන අර්බුදයත් එක්ක මේ තරගයට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.''
''මේ තරගය පැවැත්වීම හරහා වර්තමානයේ ඉන්දියාව - බංග්ලාදේශය වගේ ම ඉන්දියාව - පකිස්ථානය අතර පවතින ආතතිය යම් දුරකට පාලනය කරන්න හැකියාව ලැබේවී කියන බලාපොරොත්තුවත් එක පැත්තකින් තියෙනවා.''
''ගොඩක් වෙලාවට අතීතයේදී ඉන්දියාව සහ පකිස්ථානය දෙරටේ ක්‍රිඩාංගණවල ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට තුන් වන පාර්ශවයේ රටකදී තමයි මේ රටවල් දෙකේ ක්‍රීඩා තරග පවත්වන්නේ. මෙතැනදී ලංකාවට විශාල කාර්යභාරයක් තියෙනවා රටවල් දෙකේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න," ඔහු පැවසුවේය.
ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළ දෙරටේ විරසකය
ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ දේශසීමා යුද ගැටුම් සහ දේශපාලන මතවාද මෙන් ම ආගමික මෙන් ම සමාජීය බෙදී යාමේ ඝට්ටන අද වන විට ක්‍රීඩා පිටියට පැමිණ ඇති ආකාරය දක්නට ලැබේ.
2025 වසරේදී ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේ පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව දියත් කළ 'ඔපරේෂන් සින්ධූර්' මෙහෙයුම මෑත ඉතිහාසයේදී ඉන්දු - පකිස්ථාන සබඳතා දැඩි ලෙස බිඳ දැමූ සිදුවීම් අතර විය.
ඉන්දියාව සහ පකිස්ථානය ක්‍රිකට් පිටියේදී අවසන් වරට එකිනෙකා හමුවූ 2025 ආසියානු කුසලාන තරගාවලියේදී දෙරට අතර භූ දේශපාලනික වශයෙන් පැවති අර්බුදය, ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුළු වී ඇති ආකාරය දැක ගත හැකි විය.
ආසියානු කුසලාන පිරිමි ක්‍රිකට් තරගාවලියේදී මෙන් ම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ද දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතට අත නොදෙන අයුරු දක්නට ලැබිණි.
විශේෂයෙන් ආසියානු කුසලාන පිරිමි තරගාවලියේදී ඉන්දු සහ පකිස්ථාන ක්‍රීඩකයින් අතර ක්‍රීඩා පිටියේදී උණුසුම් වචන හුවමාරු වීම් මෙන් ම විවිධ ඉරියව් නිරූපණයන් ඔස්සේ එකිනෙකා හෙළා දකින ආකාරය මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට දැඩි හානියක් ගෙන දෙන සිදුවීම් අතර වූ බව ක්‍රිකට් විශ්ලේෂකයෝ පැවසූහ.
'මේක හොද පූර්වාදර්ශයක් නෙමෙයි'
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂකයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ, මෑත කාලයේදී ක්‍රීඩා පිටියේදී මෙන් ම සමාජ මාධ්‍ය තුළ ද ක්‍රීඩකයින් ආවේගශීලී අයුරින් කටයුතු කරන අයුරු දක්නට ලැබෙන බව ය.
"ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වාගෙන යාම ඉතා වැදගත් කරුණක්. විශේෂයෙන් භූ දේශපාලනය පැත්තෙන් ගත්ත ම කාර්ගිල් යුද්ධයෙන් පස්සේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගවලදී ක්‍රීඩකයින් ක්‍රීඩාංගණය තුළදී එකිනෙකා අතර සුහදත්වයක් පවත්වාගෙන යන ආකාරය අපිට දකින්න ලැබුණා.''
''නමුත් 2020 වසරෙන් පස්සේ මෑත කාලයේදී ක්‍රීඩකයින් තරග බිමේදී වගේ ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකිරීම්, ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකරන ආකාරයේ හැසිරීම් අපට පෙනෙන්න තියෙනවා.''
''මේ තත්ත්වය උච්ඡතම අවස්ථාවට පත්වෙලා තියෙනවා පසුගිය අවුරුද්දේ ඉඳලා. මම දකින විදිහට මේ තත්ත්වයේ වර්ධනීය තත්ත්වයක් හෙට පැවැත්වෙන තරගයේදී දකින්න ලැබේවි. ඒ කියන්නේ ක්‍රීඩාව ක්‍රීඩා පිටියෙන් එළියට ගෙනිහිල්ලා දේශපාලනය ක්‍රීඩා පිටියට ගෙනල්ලා ක්‍රීඩකයින් යම් ආතතිමය තත්ත්වයක් ඇති කරන බවක් දකින්න පුළුවන්.''
''මොක ද ක්‍රීඩාව හරහා යම් යම් රටවල් අතර ඇති වෙලා තියෙන ආතතිමය තත්ත්වයන් පාලනය කරන්න පුළුවන්. නමුත් දැන් ඒකේ අනිත් පැත්තට ගිහින් ක්‍රීඩාව හරහා රටවල් අතර ආතතීන් ඇති කරන බවක් පේන්න තියෙනවා. ඒක ඒ තරම් හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි කියල යි මට කියන්න තියෙන්නේ."
තරගය නැරඹීමටත් දැඩි තරගයක්
ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගය නැරඹීම සඳහා ද දැඩි ප්‍රේක්ෂක ඉල්ලුමක් පවතින බව වාර්තා විය.
එම ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මිල දී ගත යුතු ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි බීබීසී සිංහල සේවයට නිරීක්ෂණය විය.
කාලගුණයෙන් බාධාවක් එල්ල වෙයි ද ?
පෙබරවාරි මස 15 වන දා සිට ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව සමග ඉන්දු - පකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර, එහිදී කාර්ය භාර කාලගුණ විද්‍යා නිලධාරීනි නදීකා රණවිර පැවසුවේ, බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන බවට වූ පූර්ව දැනුම් දීම සිදුකර ඇත්තේ එම මුහුදු කලාපයේ ධීවරයින්ට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දීමට බව ය.
"පෙබවරවාරි 15 වැනිදා වහිනවා කියලා නෙමෙයි අපි මේ දැනුවත් කිරීම කරන්නේ. බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදේ අඩු පීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අපේ මොඩියුල්වලින් ලැබෙන දත්ත එක්ක ධීවරයින්ට සහ නාවික ප්‍රජාවට අවධානයෙන් ඉන්න ඕන නිස යි, ඒ බව දැනුම් දී තිබෙන්නේ. ඒකෙන් අපි අදහස් කරල නැහැ රටට වැස්සක් ඇති වෙනවා කියලා. ඉස්සරහට අපි ඒ අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරනවා,'' යනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර නිලධාරිනිය පැවසුවා ය.































