වසර 19කට පසු ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජයට පත්කිරීමට සිම්බාබ්වේ සමත් වෙයි

Zimbabwe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 2

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස හඳුනාගෙන සිටි ඔස්ට්‍රේලියාව ලකුණු 23කින් පරාජය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (පෙබ: 13) සමත් විය.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 20 තරගයකදී පරාජයට පත් කළේ, වසර 19කට පසුව ය.

මීට පෙර අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායම, ඔස්ට්‍රේලියාව පරාජයට පත් කළේ, 2007 වසරේ සැප්තැම්බර් 12 වන දා කේප් ටවුන්හිදී පැවති තරගයේදී ය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

Zimbabwe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිම්බාබ්වේ ඉනිම

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 169ක් රැස් කළේ ය.

ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර, තදිවනාෂේ මරුමනි සහ රයන් බර්ල් ලකුණු 35 බැගින් රැස් කළහ.

Zimbabwe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔස්ට්‍රේලියා ඉනිම

ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් සමගින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 146කට දැවී ගියේ ය.

එහිදී, මැට් රෙන්ෂෝ ලකුණු 65ක් සහ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 31ක් රැස් කළ අතර සෙසු පිතිකරුවෝ සාර්ථක නොවූහ.

පන්දු යැවීමේදී බ්ලෙසිං මුසරබානි කඩුලු 4ක් සහ බ්‍රැඩ් එවන්ස් කඩුලු 3ක් දවා ගත්හ.

ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙළූ බ්ලෙසිං මුසරබානි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.

B කාණ්ඩයේ දෙවන තැන

අද තරගයේ ජයග්‍රහණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායම B කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණියේ ය.

ඔවුන් මීට පෙර ඕමානය සමග පැවති තරගය ද ජය ගත් හෙයින් ක්‍රීඩා කළ තරග දෙක ම ජයගෙන තිබේ.

අයර්ලන්තය සහ ඕමානය පරාජය කළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ තවමත් පෙරමුණේ පසු වෙයි.

ක්‍රීඩා කළ තරග දෙකෙන් අයර්ලන්තය පරාජය කළ ඔස්ට්‍රේලියාව පසුවන්නේ, 3 වන ස්ථානයේ ය.