BNP බංග්ලාදේශ මහ මැතිවරණය ජය ගනී: ඊළඟ අගමැති වීමට නියමිත තරීක් රහ්මාන් යනු කවුද?

තරීක් රහ්මාන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 4

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් බංග්ලාදේශ මහ මැතිවරණය ජයග්‍රහණය කර තිබේ.

මෙය රටින් පිටුවහල්ව ලන්ඩනයේ ජීවත් වූ බීඑන්පී නායක තරීක් රහ්මාන්ට ජීවිතයේ මෙන් ම සිය දේශපාලනයේ විශාල වෙනසක් වනු ඇත.

මෙවර මැතිවරණයේදී බංග්ලාදේශ ජනතාව නව රජයක් සඳහා මෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයකට ද තම ඡන්දය ප්‍රකාශ කළහ.

2024 වසරේදී ශිෂ්‍යන්ගේ නායකත්වයෙන් සිදුවූ විරෝධතා එරට ඒකාධිපති නායිකා ෂෙයික් හසීනාගේ වසර 15ක පාලනය අවසන් කිරීමෙන් පසු රට තුළ පැවති පළමු මැතිවරණය මෙයයි.

මේ, බංග්ලාදේශයේ ඊළඟ අගමැති වීමට නියමිත තරීක් රහ්මාන් පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

දේශපාලනික උරුමය

බංග්ලාදේශයේ පළමු හමුදා පාලකයා සහ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන් සහ හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන තරීක් රහ්මාන් 1965 නොවැම්බර් 20 වන දින උපත ලැබීය.

BNP වෙබ් අඩවියේ ද ඔහුගේ උපන් දිනය ලෙස මෙම දිනය දැක්වෙන නමුත් ඔහුගේ මැතිවරණ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ ඔහු 1968 නොවැම්බර් 20 වන දින උපත ලැබූ බව ය.

එම වෙබ් අඩවියට අනුව, ඔහු ඩකාහි බීඒඑෆ් ෂහීන් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇති අතර, පසුව 1980 දශකයේදී ඩකා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයට ඇතුළත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහු තම උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළේ ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැත.

එසේ වුව ද රහ්මාන් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම 'උසස් ද්විතීයික' ලෙස සඳහන් කර ඇත.

රහ්මාන්ගේ මව වන කලීඩා සියා, බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පක්ෂයේ සභාපතීත්වයට

BNP විසින් සපයන ලද තොරතුරුවලට අනුව, සියාඋර් රහ්මාන්ගේ පවුල ද විමුක්ති යුද්ධයේදී තවත් බොහෝ හමුදා නිලධාරීන්ගේ පවුල් සමග සිරගත කරනු ලැබූහ. ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන තරීක් රහ්මාන් සහ අභාවප්‍රාප්ත අරෆත් රහ්මාන් ද ඒ අවස්ථාවේ සිරගත කෙරිණි.

බංග්ලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට තරීක් රහ්මාන් නායකත්වය දෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සමග ම ඔහු පළමු වරට ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් විය.

මැතිවරණයට මාසයකට පෙර සිදුවූ තම මවගේ අභාවයෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධූරයට පත්වූ අතර බංග්ලාදේශයේ "මීළඟ අගමැති" ලෙස ඔහුගේ ආධාරකරුවෝ ඔහු පිළිබඳව විස්තර කරති.

දූෂණ චෝදනා සහ දේශපාලන ගමන් මග

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රහ්මාන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් ඔහුට ඇති දූෂණ චෝදනා සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතු කළ ද, ඔහුගේ පක්ෂය වන BNP ඔහුව 'තනි, ශක්තිමත් නායකයෙකු' ලෙස ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත්, ඔහු සහ ඔහුගේ පක්ෂය මෙම දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා පෙර පැවති අවාමි ලීග් රජයේ හුදු ප්‍රචාරයන් බවට විස්තර කර ඇත.

2007 වසරේදී බංග්ලාදේශයේ හමුදා සහය ලත් භාරකාර රජය සමයේදී දූෂණ චෝදනා මත තරීක් රහ්මාන් අත්අඩංගුවට ගන්නා ලදී. මාස දහඅටක් සිරගතව සිටීමෙන් පසු, ඔහු 2008 සැප්තැම්බර් මාසයේදී නිදහස ලැබූ අතර සිය පවුලේ අය සමග ලන්ඩනයට සංක්‍රමණය විය.

ලන්ඩනයේ වසර දාහතකට ආසන්න කාලයක් දේශපාලන රැකවරණ ලැබීමෙන් පසු, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී ඩකා නුවරට පැමිණියේ ඔහුගේ පක්ෂයෙන් අතිවිශිෂ්ට පිළිගැනීමක් ද ලබමිනි.

මූලික වශයෙන්, බංග්ලාදේශයේ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන් විසින් ආරම්භ කරන ලද බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඔහුගේ බිරිඳ වන හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව නැගී සිටි නමුත් පසුව, දුෂ්කරතා සහ අස්ථාවරත්වයන්ට මුහුණ දෙමින් අභියෝගාත්මක අවධියකට පිවිසි අතර අවසානයේ එය ඔවුන්ගේ වැඩිමහල් පුත් තරීක් රහ්මාන්ගේ ඍජු මෙහෙයවීම යටතට පත් විය.

2018 වසරේදී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ඛලීඩා සියාට සිර දඬුවම් නියම වූ පසු, රහ්මාන් ලන්ඩනයේ සිට පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

මීට පෙර, 2002දී, සියා ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඒකාබද්ධ මහ ලේකම්වරයා ලෙස නම් කෙරිණි. පසුව, 2009දී, පක්ෂයේ පස් වන ජාතික සමුළුවේදී ඔහු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස නම් කෙරිණි.