ශ්‍රී ලංකා තානාපති ධූරය හිස්ව ඇති ටෙහෙරානයේ තත්ත්වය ගැන විදේශ ඇමතිවරයා කළ ප්‍රකාශය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බිබීසී සිංහල
ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන ගිය බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද (ජූනි 17) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.
ඉරානයේ පවතින තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාල නිලධාරීන් ද වෙනත් ස්ථානයකට යොමු කර ඇතත්, සියලු දුරකතන අංක ක්‍රියාත්මකව තබා ගනිමින් අවශ්‍ය තානාපති සේවා පවත්වාගෙන යන ලෙසට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.
ටෙහෙරාන් අගනුවර දිගින් දිගට ම එල්ල වන ප්‍රහාර හමුවේ එහි සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාල සේවකයින්ගේ පූර්වාරක්ෂාව සඳහා ඔවුන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට පියවර ගත් බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඉරානයේ සිටින ලාංකිකයින් ගැන අනාවරණයක්
ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු පමණ ඉරානයේ රැඳී සිටින බවත්, ටෙහෙරානයේ පදිංචිකරුවන් දැනට ඉහළ අවදානම්වලට මුහුණ දී සිටින බවත් අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ඊට අමතරව, ශ්‍රී ලාංකිකයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් දැනට ඊශ්‍රායලයේ සිටින බව අමාත්‍යවරයා පැවසීය.
ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අමතරව, එහි වෙසෙන ලාංකික සිසුන් අට දෙනෙකු ද ආරක්ෂක හේතු මත ඉරානයේ උතුරු ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.
"දැනට ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් සිව් දෙනෙකුට තුවාල සිදුවෙලා තියෙනවා. එතැනින් එක් කෙනෙක්ගේ කකුලට ටිකක් තුවාල සිදුවෙලා තියෙනවා. ඒ වගේ ම ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය හරහා දැනුම් දීමක් සිදුකරලා තියෙනවා එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ආරක්‍ෂිත පියවර ගන්න කියලා."
"ඉරානයේ දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 35 දෙනෙක් ඉන්නවා. එතැනින් ඉරාන ජාතිකයින් සමග විවාහ වෙලා ඉන්න 08 දෙනෙක් ඉන්නවා. ඒ වගේ ම ශිෂ්‍යයින් වගේ ම රැකියාවල නිරත වන පිරිසක් ඉන්නවා."
"එක් ශිෂ්‍යාවක් දැනුම් දීලා තියෙනවා තමන් සමග ඉන්න ඉන්දියන් ශිෂ්‍යාවන් එක්ක ඉරානයෙන් පිටව යනවා කියලා. ඒ වගේ ම තවත් පිරිසක් දැනුම් දීලා තියෙනවා ඔවුන් ඉන්න තැන්වල ම ආරක්ෂාව සපයා ගන්නවා කියලා. ආරක්ෂාවක් නැහැයි කියලා තානාපති කාර්යාලයට ආව අයව තමයි මේ විදිහට නිලධාරීන් එක්ක ටෙහෙරානයෙන් පිටතට අරන් ගියේ," අමාත්‍යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'රැකියාවට වඩා ජීවිතය වැදගත්'
ඉරාන-ඊශ්‍රායල් ගැටුම සහ එහි බලපෑම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් පැවසුවේ, ආරක්ෂක ගැටලු උපුටා දක්වමින්, පවතින රැකියාවලට නැවත පැමිණෙන අය ඇතුළුව ඊශ්‍රායලයට සංක්‍රමණික සේවකයින් යැවීම රජය විසින් අත්හිටුවනු ලැබ ඇති බව ය.
"ඊශ්‍රායලයේ ඉඳලා ලංකාවට නිවාඩු ඇවිත් ඉන්නවා 300ක විතර පිරිසක්. ඔවුන්ටත් අපි කියනවා යන්න හදන්න එපා කියලා. ඒ, රැකියාවට වඩා ජීවිත වැදගත් නිසා, ඔවුන් නැවත රැකියාවට යන සේවකයින් වුව ද, ඊශ්‍රායලයට සංක්‍රමණික සේවකයින් යැවීම තාවකාලිකව අත්හිටුවීමට අපි දැනටමත් තීරණයක් ගෙන තිබෙනවා," අමාත්‍යවරයා පැවසීය. එම තීරණය ඊශ්‍රායල බලධාරීන්ට විධිමත් ලෙස දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව, මැදපෙරදිගට යාමට උත්සහ කරමින් සිටියදී අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සහාය ඇතිව ඔවුන් නැවත ආරක්ෂිතව ආපසු ලංකාවට ගෙන ඒමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Foreign Ministry
'ලබාදුන් දුරකතන වැඩ නැහැ'
ඉරානයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ලබා දුන් එම දුරකථන අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය අවස්ථා ගණනාවක දී උත්සහ දැරීය.
එලෙස ලබා දුන් +98 939 205 5161 සහ +98 936 636 0260 යන දුරකථන අංක ක්‍රියාත්මකව පැවතුණ ද කිසිවකුත් ඊට ප්‍රතිචාර නොදක්වන අතර +98 991 205 7522 යන අංකය වලංගු නොවන බවට ස්වයංක්‍රීය ප්‍රතිචාර ලැබේ.
'ඉරානයේ තානාපති කෙනෙක් නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකතන අංකවලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් බීබීසී සිංහල සේවය කළ කරුණු සොයා බැලීමේදී හෙළි වූයේ, මේ වන විට එරට කිසිදු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු සේවයේ නොමැති බව ය.
ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පසුගිය අගෝස්තු මාසයේදී පත් කරන ලද එන්.එම්. සහීඩ් බීබීසී සිංහල සේවය විසින් සම්බන්ධ කර ගත් ලද අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වන විට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති තනතුර පුරප්පාඩු වී ඇති බව ය.
''මම ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ඉරානයේ නව තානාපතිවරයා හැටියට පත්වීම් ලබලා ගියේ. මම එහෙට ගිහින් මාස 04ක් යන්න කලින් නැවත ලංකාවට එන්න කියලා දැනුම් දුන්නා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. ඒ නිසා මම ආවා. දැන් එහෙ කවුරුත් නැහැ. තානාපති කෙනෙක්වත්, නියෝජ්‍ය තානාපති කෙනෙක් හෝ කිසිදු විදේශ සේවයට සම්බන්ධ කවුරුත් නැහැ.''
''දැනට ලංකාවේ තානාපති කාර්යාලයේ ඉන්නේ ලිපිකරුවන් විදිහට සේවය කරන හතර දෙනෙක් විතර යි. ඒ අය හැරුණා ම තව ඉරාන ජාතිකයින් දෙන්නෙක් සේවය කරනවා. එක් අයෙක් භාෂා පරිවර්තක විදිහටත්, තවත් කෙනෙක් පිළිගැනීමේ නිලධාරි කෙනෙක් විදිහත් අනෙක් දෙදෙනා රියැදුරන් විදිහට සේවය කරනවා,'' ඔහු එහිදී කියා සිටියේ ය.














