රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991 ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (අගෝස්තු 7 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සී ජී සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම එකගතාවය පළ කෙරුණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, BYD
එහිදී ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991 ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සඳහන් කළේය.
ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාළ වන පොලිය පෙත්සම්කාර සමාගම ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.
මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ලෙස ඇතුළත්ව තිබේ.
ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුළත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියකි.
ඊට අමතරව නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම ඇතුළු කොන්දේසි කීපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් විය.
එම කොන්දේසි අතුරින් බොහොමයකට තමන් එකඟ බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නාය.
ඉන් අනතුරුව අදාළ වාහන මුදා හැරීමට අධිකරණය හමුවේ එකඟතාවය පළ විය.
මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද දින අදාළ බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාළ වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.
ඒ අනුව අදාළ බැංකු ඇපකරය අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නා ය.
ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 03 වනදා යළි කැඳවීමටද නියම විය.














