ඊසානදිග ඉන්දියාවේ ප්‍රචණ්ඩත්වය ඇවිලී තිබෙන්නේ මන්ද?

Members of the All India Mahila (AIMC) Congress hold placards during a protest over sexual violence against women and for peace in the ongoing ethnic violence in India's north-eastern state of Manipur, in Delhi on 20 July, 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති මෝදි ප්‍රථමවරට මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය ගැන ප්‍රකාශයක් සිදුකළ දිනයේ දීම, මනිපූර්හි සිදුවෙන ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයින් දිල්ලියේ විරෝධතාවක් පැවැත්වීය

ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශයක් දැන් මාස දෙකක පමණ කාලයක තිස්සේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් ඇවිලීයමින් පැවැතිමුත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කළේ ජූලි 20 වන දා ය.

ඔහු ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් දැක්වූයේ, මැර පිරිසක් විසින් නිරුවත් කතුන් දෙදෙනෙකු මහමඟ ඇවිදවන දර්ශන අඩංගු වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි මතුවීමෙන් අනතුරුව ය.

මනිපූර් පිහිටා ඇත්තේ කොහේ ද?

ඊසානදිග ඉන්දියාවේ පිහිටි මනිපූර් ප්‍රාන්තය මියන්මාර දේශසීමාවට මායිම්ව පිහිටා ඇත. එය මිලියන තුනක ජනගහණයකට නිවහන සපයයි.

A map showing Manipur

එහි ප්‍රචණ්ඩත්වය ඇතිවී තිබෙන්නේ ඇයි?

මනිපූර්හි වෙසෙන ප්‍රධාන වාර්ගික ප්‍රජාවන් ද්විත්වය වන්නේ, බහුතරය හින්දු භක්තිකයින්ගෙන් සැදුම්ලත් 'මෙයිටී' සහ බහුතරය ක්‍රිස්තියානි භක්තිකයින්ගෙන් සැදුම්ලත් 'කුකී' ප්‍රජාවන් ය.

මැයි තුන්වෙනිදා ප්‍රචණ්ඩත්වය ඇවිලී ගියේ, ඔවුන් 'උපලේඛනගත ගෝත්‍රයක්' ලෙස වර්ගීකරණය කරන්නැයි මෙයිටී ප්‍රජාව ඉදිරිපත් කළ ඉල්ලීමට මනිපූර්හි මහාධිකරණය සහායදීම සමග ය. උපලේඛනගත ගෝත්‍රයක් ලෙස වර්ගීකරණය කිරීම, එය සම්මත කිරීමේ පළමු පියවර යි.

මෙසේ වර්ගීකරණය කිරීම හරහා රජයේ රැකියාවන් හා උසස් අධ්‍යාපන අවස්ථාවන්වලට ඉල්ලුම් කිරීමේ දී මෙයිටී ප්‍රජාව සඳහා කෝටාවක් සහතික කෙරෙන අතර, වනාන්තර ඉඩම් සඳහා ද ඔවුනට ප්‍රවේශය ලබාදෙයි.

දැනටමත් මෙම වර්ගීකරණයට අයත්වන කුකී ප්‍රජාව පවසන්නේ මෙයිටීවරුන් ඔවුන්ගේ ඉඩම් අයත්කර ගනු ඇතිබව යි.

Indian army and police personnel patrol after a fresh incident in Imphal West district on 20 June, 2023, during ethnic violence in India's north-eastern Manipur state.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රාන්තයට හමුදා සහ පැරාමිලිටරි පොලිස් භටයන් විශාල පිරිසක් යොදවා තිබුණ ද ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට නොහැකිවී තිබේ

ප්‍රචණ්ඩත්වය නිසා අවම වශයෙන් 142 දෙනෙකු මියගොස් ඇති අතර 60 000ක් පමණ දෙනා අවතැන්වී සිටිති.

ඉන්දියාවේ ෆෙඩරල් රජය 40 000ක් සෙබළුන් ප්‍රාන්තයට යොදවා ඇත.

විඩියෝව මතුවූයේ කෙසේ ද?

කාන්තාවන් දෙදෙනාගේ විඩියෝව සමාජ මාධ්‍යවල පැතිරීම ඇරඹුණේ ජූලි 19 වැනි බදාදා ය.

එය කවුරුන් විඩියෝ කරන ලද්දක් ද, කවුරුන් සමාජ මාධ්‍යයට මුදාහරින ලද්දක්දැ යි තවමත් තහවුරුවී නැත.

එය සමාජ මාධ්‍යයන්ගෙන් ඉවත් කරන්නැ යි ඉන්දීය රජය නියෝගකර තිබේ.

පොලීසිය පවසන්නේ කුමක් ද?

මෙම විඩියෝව මනිපූර් අගනුවරින් කිලෝමීටර 24ක් දුරින් පිහිටා ඇති තෝබල් දිස්ත්‍රික්කයේ දී මැයි හතරවැනි දා රූගත කළ එකක්බව ප්‍රාන්ත පොලීසිය තහවුරු කරයි.

දිනපතා පුවත්පතක් වන 'ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්' තහවුරු කරන්නේ, විඩියෝවේ නිරුවත්කර සිටින කාන්තාවන් දෙදෙනා කුකී ප්‍රජාවට අයත්බව යි.

තෝබල් යනු මෙයිටී බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්කයකි. ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹුණු සමයේ දී මෙය සිදුවී ඇත.

"නාඳුනන, සන්නද්ධ අපරාධකරුවන්ට එරෙහිව පැහැරගැනීමේ සිද්ධියක්, සමූහ දූෂණ සහ මිනීමැරුම් චෝදනා ලියාපදිංචිකර තිබෙනවා. විමර්ශන මේ වන විට ආරම්භවෙලා තියෙනවා," ජූලි 19 වැනි දා මනිපූර් පොලීසිය ට්විටර් පණිවුඩයක් හරහා පැවසීය.

"හැකි ඉක්මණින් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නට ප්‍රාන්ත පොලීසිය කටයුතු කරමින් සිටිනවා."

වින්දිතයින් පවසන්නේ කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විඩියෝවේ දැක්වෙන කාන්තාවන්ගේ ඥාතියෙකු මැයි 18 වැනි දා පොලිස් පැමිණිල්ලක් (මෙය 'පළමු තොරතුරු වාර්තාව' හෙවත් FIR ලෙස හැඳින්වෙයි) ගොනුකළේ ය.

සිදුවීමට පුද්ගලයින් පස්දෙනෙකු - කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු - ගොදුරුවී ඇතිබව පැමිණිල්ලෙහි සඳහන්වෙයි.

මැයි හතරවැනි දා සන්නද්ධ පිරිමි 800 - 1000ක කණ්ඩායමක් බී ෆයිනොම් ගම්මානයට කඩා වැදී, ගම දරුණු ලෙස කොල්ලකෑහ.

පෙර සඳහන් කළ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වනය දෙසට දුවගොස් ඇති අතර, පොලීසිය විසින් ගලවාගෙන ඇත.

නමුත් ඔවුන් පොලිස් ස්ථානය වෙත ගෙනයන අතරතුරේ මැර පිරිස ඔවුන් "පැහැරගත්" බව කියයි.

පැමිණිල්ලෙහි සඳහන් පරිදි, පිරිමින් දෙදෙනා ඝාතනය කළ මැර කණ්ඩායම කාන්තාවන්ට ඇඳුම් උනාදමන්නැ යි බලකර තිබේ.

කාන්තාවන් අතර සිටි 21 හැවිරිදි තරුණිය "මහ දවාලේ කෲර ලෙස සමූහ දූෂණයට ලක්වූ" බව පැමිණිල්ලෙහි දැක්වෙන අතර, අනෙක් කතුන් දෙදෙනා පළායෑමට සමත්වූබව ද සඳහන් ය.ෆයිනෝම්

අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැ යි, මනිපූර්හි ලියාපදිංචි ගෝත්‍රයන්ගේ සාමූහිකයක් වන 'ආදිවාසී ගෝත්‍රික නායකයින්ගේ සංසදය' (Indigenous Tribal Leaders' Forum) විසින් ප්‍රාන්ත හා මධ්‍යම රජයයන්ගෙන් ඉල්ලා ඇත.

දේශපාලන ප්‍රතිචාරය කෙබඳු ද?

මනිපූර්හි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රථමවරට ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඇතුළුවීමට පෙර මෙම ප්‍රකාශය ලබාදුන්නේ ය.

"මේ සිදුවීම නිසා මගේ හදවත ගැඹුරු ශෝකයකින් පිරිලා තියෙනවා. මේක මොන සමාජයකට [වුණත්] නින්දාසහගත සිදුවීමක්," ඔහු පැවසීය.

"මේ සිද්ධිය මුළු රටම අපකීර්තියට ලක්කරලා තියෙනවා. ප්‍රාන්තයේ නීතිය හා සාමය ශක්තිමත් කරන්න කියලා මම මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා."

Prime Minister Narendra Modi waves as he departs after delivering remarks to a joint meeting of Congress at the U.S. Capitol on 22 June, 2023 in Washington, DC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෑතක දී ලොව පුරා සංචාරයන්හි යෙදී සිටි අතර, ජුනි මාසයේ වොෂින්ටනයේ දී කොංග්‍රසයේ ඒකාබද්ධ රැස්වීමක් ඇමතීමෙන් පසු අවස්ථාව මෙහි දැක්වෙයි

ඔහුගේ අවසන් ප්‍රකාශය වැදගත්වන්නේ, මනිපූර් ප්‍රාන්තය පාලනය කෙරෙන්නේ භාරතීය ජනතා පක්ෂය විසින් වීම නිසා ය. එය අගමැතිවරයාගේ ද පක්ෂය යි.

පොලීසිය විසින් ජූලි 20 වැනිදා "පළමු අත්අඩංගුවට ගැනීම සිදුකළබව" මනිපූර්හි ප්‍රධාන අමාත්‍ය එන්. බිරේන් සිං ප්‍රකාශ කළේ ය.

"දැනටමත් සම්පූර්ණ විමර්ශනයක් සිද්ධවෙනවා වගේම, අපි සියලුම අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබාදීමේ හැකියාව සලකා බැලීම ද ඇතුළුව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා සහතික වෙනවා," ඔහු සඳහන් කළේ ය.

මනිපූර් ගැටලුව සම්බන්ධයෙන් අගමැති මෝදිගේ නිශ්ශබ්දතාව මාස ගණනක් තිස්සේ විපක්ෂය විසින් විවේචනය විය.

"අගමැතිගේ නිහඬබව සහ අක්‍රියතාව නිසා මනිපූර් අරාජිකත්වයට ගිහින් තියෙනවා," කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පැවසුවේ ය. "අපි මනිපූර්වල ජනතාව සමග හිටගන්නවා. ඉදිරියට යන්න පුළුවන් එකම ක්‍රමය සාමය විතරයි."

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ අගවිනිසුරු ඩී. වයි. චන්ද්‍රචූද් කණස්සල්ල පළකර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය "විඩියෝව නිසා දැඩි කම්පනයට" පත්ව ඇතැ යි පැවසීය.

චූදිතයන්ට එරෙහිව ගනිමින් පවතින ක්‍රියාමාර්ග කවරේදැ යි අධිකරණයට දන්වන ලෙස පවසමින් ඔහු රජයට ද බල කළේ ය.

"ඔබ [මිට එරෙහිව] ක්‍රියාමාර්ගයක් නොගත්තොත්, අපි ගන්නවා," අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.