ද කේරළ ස්ටෝරි : ඉස්ලාමීය රාජ්‍යය පිළිබඳ ඉන්දියානු චිත්‍රපටයක් මෙතරම් මතභේදාත්මක වන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Sunshine Pictures/YouTube
- Author, මෙරිල් සෙබස්තියන්
- Role, බීබීසී පුවත්, කොච්චි
ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට සම්බන්ධවීමට පොළඹවා ගත් හින්දු සහ ක්‍රිස්තියානි කාන්තාවන්ගේ කතාව යැයි කියන නව චිත්‍රපටයක්, ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් ඇතිකර තිබේ.
දකුණුදිග කේරළ ප්‍රාන්තය ආශ්‍රිතව රූගත කිරීම් කළ 'ද කේරළ ස්ටෝරි' චිත්‍රපටය බොහෝ විපක්ෂ දේශපාලනඥයන්ගේ විවේචනයට ලක්වූ අතර, ඇතැමුන් එය ආගමික සහජීවනය විනාශ කිරීමේ උත්සාහයක් ලෙස හඳුන්වයි.
එහෙත් මෙම චිත්‍රපටයට ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නායකයින්ගේ සහාය හිමිව තිබේ. මෑතකදී පවත්වනු ලැබූ රැලියකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එම චිත්‍රපටයට ප්‍රශංසා කළ අතර ඇතැම් පක්ෂ සාමාජිකයින් එහි දර්ශන ද පවත්වා, නොමිලේ ප්‍රවේශපත් බෙදාදීමට කටයුතු කරනු ලැබ ඇත.
මෙම චිත්‍රපටයට ප්‍රධාන ධාරාවේ බොහෝ විචාරකයින්ගෙන් දුර්වල විචාර ලැබී ඇත. ඔවුන් එහි රඟපෑම් සහ කතා වින්‍යාසය සියුම්ව ස්පර්ශ කිරීමට ඇති නොහැකියාව ගැන විවේචනය කර තිබේ. එක් පුද්ගලයෙකු එම චිත්‍රපටය "ඉස්ලාමය සහ [ආගමට] හරවා ගැනීම සම්බන්ධයෙන් වන මූලාශ්‍රයයන් වෛරයෙන් පිරුණු වට්ස්ඇප් සමුහයන්ගෙන් උපුටාගෙන ඇතැ යි පෙනෙන බවට" සටහන්කර තිබුණි.
ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පීන් නොමැතිව, කුඩා පිරිවැයක් දරමින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ක්‍රියාකාරිත්වය "අසාමාන්‍ය" එකක් බව බීබීසී පුවත් සේවයට අදහස් දැක්වූ විශ්ලේෂක තරන් ආදර්ශ් පැවසීය. දින පහක් තුළ මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් මිලියන 560කට (ඩොලර් මිලියන 6.8ක්) අධික ආදයමක් උපයා ඇති අතර ඔහු එය හැඳින්වූයේ "ඕනෑම නව නිකුතුවක් සඳහා වූ ජයග්‍රහණයක්" ලෙස ය.
'ද කේරළ ස්ටෝරි' චිත්‍රපටය, පසුගිය වසරේ බොලිවුඩයේ විශාල ලෙස ජනප්‍රියත්වයට පත්වූ හා දැඩි විරෝධයට පාත්‍රවූ තවත් චිත්‍රපටයක් වන 'ද කාශ්මීර් ෆයිල්ස්' සමග සැසඳීම් කර ඇත. කුඩා පිරිවැයක් දරමින් ජනප්‍රිය රංගන ශිල්පීන්ගෙන් තොරව නිර්මාණය වූ එම චිත්‍රපටයට 1990 වර්ෂයේ දී හින්දුවරුන් කාශ්මීරයෙන් නික්ම යාම පිළිබඳ මාතෘකා වූ අතර මධ්‍යස්ථ ප්‍රතිචාර හිමිවිය. කෙසේ වුව ද එම චිත්‍රපටය අගමැති මෝදි සහ අනෙකුත් භාරතීය ජනතා පක්ෂ නායකයින්ගේ ප්‍රශංසාවට ලක් විය.
'ද කේරළ ස්ටෝරි' චිත්‍රපටය නිකුත් වීමට මාස කිහිපයකට පෙර එය මතභේදයට තුඩු දුන්නේ ය. නොවැම්බරයේ දී, කේරළයේ ඇතැම් දේශපාලකයින් චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ වූ "කාන්තාවන් 32,000ක පිරිසක් පිළිබඳ හද කම්පා කරවන සහ අතිශයින්ම අප්‍රසන්න" පූර්ව ප්‍රචාරක දැන්වීම නිකුත්වීමෙන් අනතුරුව යි.
මෙම සංඛ්‍යාව තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් "සාක්ෂි නොමැති" බව, නිරවද්‍යභාවය පිරික්සන වෙබ් අඩවියක් වන Alt News නිකුත් කරන ලද සවිස්තරාත්මක වාර්තාවක සඳහන් විය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2020 වර්ෂයේ දී නිකුත් කරන ලද වාර්තාව අනුව එම වර්ෂයේ නොවැම්බර් මාසය වන විට "ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයින් 66 දෙනෙකු" ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක්ව ඇත. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ මතවාදයන් වෙනුවෙන් "ත්‍රස්ත ප්‍රහාර, කුමන්ත්‍රණය කිරීම සහ මූල්‍යාධාර" සැපයිමේ සිද්ධීන් 37ක් සම්බන්ධව පුද්ගලයින් 168 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කර සිටියි.
කෙසේ වුවත්, චිත්‍රපට නිෂ්පාදකවරයා ප්‍රකාශ කර සිටියේ සත්‍ය සිදුවීම් සහ වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ "ද කේරළ ස්ටෝරි" චිත්‍රපටයට පදනම වූ බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චිත්‍රපටය අප්‍රේල් මාසයේ දී නිකුත් වන දිනය ආසන්න වන විට නීතිමය අභියෝගවලට සහ විවේචනවලට මුහුණදීමට සිදුවිය. කේරළ මහාධිකරණය චිත්‍රපටය එළි දැක්වීම නැවතීම ප්‍රතික්ෂේප කළ නමුත්, චිත්‍රපටයේ නිෂ්පාදකයින් කාන්තාවන් 32,000කගේ සාක්ෂි ඇති බවට ඉදිරිපත් කළ මතභේදාත්මක අංකය පූර්ව ප්‍රචාරක පටයන් ඉවත් කිරීමට එකඟ විය. යූටියුබ්හි පළකර තිබූ හැඳින්වීම ද "කේරළයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණියන් තිදෙනෙකුගේ සත්‍ය කථාවන්හි එකතුවක්" ලෙස වෙනස් කරන ලදී.
2021 දී ඇෆ්ඝනිස්ථානයේ බලය නැවතත් තාලිබාන් සංවිධානය අතට පත්වීමෙන් පසු ඉන්දීය නිලධාරීන් පවසා තිබුණේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ වූ කේරළ කාන්තාවන් සිව්දෙනෙකු එහි සිරගතව සිටින බව යි. කේරළයේ පොලිස් නිලධාරියෙකු පසුගිය වසරේ දී නිර්නාමිකව සිටිනබවට වන කොන්දේසිය මත බීබීසීයට පවසා සිටියේ, "2016 වර්ෂයේ සිට, ඉස්ලාම් ආගම වැළඳගෙන ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධවීමට කේරළයේ සිට ගිය කාන්තාවන් සංඛ්‍යාව 10-15කට වඩා නොඅඩු" බව යි.
චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භවීමෙන් පසු, ඊට පක්ෂපාතීත්වය දරනු ලැබූ බොහෝ පිරිස් විසින් එය ප්‍රශංසාවට ලක් කළේ එහි සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු ඇති බව පවසමිනි. භාරතීය ජනතා පක්ෂය විසින් පාලිත උත්තර් ප්‍රදේශ් සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත ආණ්ඩු දෙක විසින් මෙම චිත්‍රපටය බදුවලින් නිදහස් කර ඇත.
කෙසේ වෙතත්, තවත් සමහරුන් එය මුස්ලිම්වරුන් දුෂ්ඨබව පෙන්වීමට සහ ඉස්ලාම් භීතිකාවක් පැතිරවීමට සම්බන්ධ බවට චෝදනා කර තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමාශාලා හිමියන්ගේ සංගමය, එල්ලවන විරෝධතා සහ අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාව හේතු ලෙස හුවා දක්වමින් කියා සිටියේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම නවත්වන බව යි. ත්‍රිනමූල් කොංග්‍රසය විසින් පාලිත බටහිර බෙංගාලය, මෙම චිත්‍රපටිය "නීතිය හා සාමයට අනතුරුදායක විය හැකි" බව පවසමින් එය තහනම් කළේය.
මෙම තහනම සම්බන්ධයෙන් ෆෙඩරල් ඇමතිවරුන් දෙදෙනෙකු ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයින් විසින් විවේචනය කර ඇත. මේ අතර තහනමට එරෙහිව චිත්‍රපට නිෂ්පාදකයින් විසින් ගොනු කරන ලද පෙත්සමක් පසුගිය සිකුරාදා දිනයේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීමට නියමිතව තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම චිත්‍රපටය සමාජ මාධ්‍ය ප්‍රචාරණයන් ද වේගවත් කර ඇත. බොහෝ අය #MyKeralaStory සහ #RealKeralaStory වැනි හෑෂ්ටැග් යටතේ කේරළයේ ආගමික සුහදත්වය උදාහරණයට ගෙන දක්වමින් සිටියි.
ගායක ටී.එම් ක්‍රිෂ්ණා සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් පසුගිය දශක දෙකක කාලය තුළ ප්‍රාන්තය පුරා "විවිධ ඇදහිලිවලට අයත් මිනිසුන්" ඉදිරියේ "ගණන් කළ නොහැකි ආගමික ස්ථානවල" ප්‍රසංග පවත්වා ඇති බවයි.
දේශපාලන කාටූන් ශිල්පී ඊපී උන්නි, කේරළයේ අගනුවර වන තිරුවනන්තපුරම්හි මුස්ලිම් පල්ලියක්, කෝවිලක් සහ පල්ලියක් අසල පිහිටි කාටූනයක් හුවමාරු කරමින් "ද රියල් කේරළ ස්ටෝරි" ලෙස එය හඳුන්වනු ලැබ තිබේ.
ඉන්දියාවේ වඩාත්ම දියුණු ප්‍රාන්තවලින් එකක් ලෙස සැලකෙන කේරළය, එහි ආගමික සහජීවනය සම්බන්ධයෙන් බොහෝ විට පැසසුමට ලක් වේ. 2011 වර්ෂයේ දී සිදුකළ අවසන් සංගණනයට අනුව, කේරළයේ මිලියන 33ක ජනතාවගෙන් 27%ක් මුස්ලිම් වන අතර 18%ක් ක්‍රිස්තියානි ජනතාව යි.
මෙම චිත්‍රපටය ආගමික සංහිඳියාවට බාධා කිරීමේ සහ "ප්‍රාන්තයට අපහාස කිරීමේ" විශාල ව්‍යාපාරයක කොටසක් බවට ඇතැම් දේශපාලනඥයන් සහ මුස්ලිම් නායකයින් චෝදනා කර ඇත. ඇතැමුන් චිත්‍රපටයේ ප්‍රකාශයන් සනාථ කළ හැකි ඕනෑම කෙනෙකුට මුදල් ත්‍යාග ද පිරිනැමීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියි.
ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් ද චිත්‍රපටය නිකුත් කිරීමට පෙර එය විවේචනය කරමින් කියා සිටියේ, එය "වර්ගවාදී බෙදීමක් ඇති කිරීමට සහ වෛරී ප්‍රචාර පතුරුවා හැරීමේ අරමුණින්" නිර්මාණය කර ඇතැ යි පෙනෙන්නට ඇති බව යි. කෙසේ වෙතත් ඔහුගේ රජය චිත්‍රපටය තහනම් කර නැත.
'ද කේරළ ස්ටෝරි' චිත්‍රපටය නිකුත් වුයේ භාරතීය ජනතා පක්ෂයට බලය හිමි දකුණු දිග ප්‍රාන්තය වන කර්ණාටකයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සමාන්තරව වීම හේතුවෙන් එය දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට සමත්විය.
පසුගිය සතියේ පැවති මැතිවරණ රැළියක දී අගමැති මෝදි චිත්‍රපටය අගය කර තිබුණේ, එය "සමාජයක ත්‍රස්තවාදයේ ප්‍රතිවිපාක හෙළි කිරීමට" ගත් උත්සාහයක් බව පවසමිනි.
නමුත් විශ්ලේෂකයින් පවසන්නේ එවැනි චිත්‍රපට විශාල කැළඹීමක් ඇති කළත් සැබෑ ජීවිතයේ දේශපාලනයට ඉන් බලපෑමක් ඇති කිරීමට නොහැකි බවයි.
දේශපාලන විශ්ලේෂක සහ බෝපාල්හි ජග්‍රන් ලේක්සයිඩ් විශ්වවිද්‍යාලයයේ උපකුලපති සන්දීප් ශාස්ත්‍රි පවසන්නේ, 'ද කේරළ ස්ටෝරි' වැනි චිත්‍රපට දැනටමත් එහි ඇති පණිවිඩයට සහය දක්වන පුද්ගලයින්ට ප්‍රියවීමට වැඩි ඉඩක් ඇති බවයි.
"එය ඔබේ පැත්තට වැඩි පිරිසක් ගෙන එන්නේ නැහැ."
අතිරේක වාර්තාකරණය මීනා මැතිව්, දිල්ලි සිට











