ජාකර්තා ගුවන් තොටුපලක දී ගුවන් යානා දෙකක් එකට ගැටෙයි

එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Ian Aidrian

ඡායාරූප ශීර්ෂ වැකිය, එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බවයි පැවසෙන්නේ

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගුවන්තොටුපලක දී ගුවන් යානා දෙකක් එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බව වාර්තා වේ.

බතික් (Batik) ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගුවන් ගත වීමට සුදානම් වෙමින් තිබිය දී එහි පියාපතක් ධාවන පථයේ ඇදගෙන යමින් තිබූ ට්‍රාන්ස්නුසා (TransNusa) ගුවන් යානයක අග කොටසේ පැටලීම හේතුවෙනි මෙසේ ගිනි ඇවිළී ඇත්තේ.

සඳුදා රාත්‍රී සිදු වූ මේ අනතුරින් යානය තුළ අසුන්ගෙන සිටි මගීන් 49 දෙනා ගෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර සියලුම මගීන් ආරක්ෂිතව යානයෙන් ඉවත්කරගත් බවයි වාර්තා වන්නේ.

බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ සමාගමේ ගුවන් යානා මීට පෙර ද අනතුරු වලට ලක් වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, IanAdrian

ඡායාරූප ශීර්ෂ වැකිය, බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ සමාගමේ ගුවන් යානා මීට පෙර ද අනතුරු වලට ලක් වී තිබේ

බොහෝ දුරට රට තුළ ගුවන් ගමන් සිදුකෙරෙන ජාකර්තා නුවර හලීම් පර්දනාකුසුමා (Halim Perdanakusuma) ගුවන් තොටුපලේ දී ය මෙම ගැටීම සිදුවී ඇත්තේ.

බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ (Lion Air Group) සමාගමේ ගුවන් යානා මීට පෙර ද කිහිප වතාවක් අනතුරු වලට ලක් වී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

2013 දී බාලි හි දෙන්පසාර් ගුවන් තොටුපලේ දී ‘ලයන් එයාර්’ යානයක් ධාවන පථයෙන් පිට පැන මුහුදට කඩා වැටී මගීන් 22 දෙනෙකු රෝහල් ගත කළ අතර 2014 වසරේ දී සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කළ තවත් ඉන්දුනීසියානු ‘එයාර් ඒසියා’ යානයක් මුහුදට කඩා වැටී මගීන් 162 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.