ඔබාමා කියුබාවේ ඓතිහාසික සංචාරයක

ඡායාරූප මූලාශ්‍රය, Reuters

අද දිනයේ (ඉරිදා) ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය රටේ ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් කියුබාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

1928 දී ජනාධිපති කෙල්වින් කූලිජ් (Calvin Coolidge) ගෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙක් කියුබාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.

සංචාරයේ දී මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු බොහෝ විෂය කරුණු සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ජනපති ඔබාමාගේ සංචාරය පිළිබඳ නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එක්සත් ජනපදය සමග පවතින රාජ්‍ය දූත සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සහ සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීමට කියුබාවට සිය රටේ පවතින විදෙස් ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

කෙසේ වෙතත් සිය විදේශ ප්‍රතිපත්තියේ යම් වෙනසක් සිදු කිරීමට ඇමරිකාවට සිදු වනු ඇති බව පවසන විදෙස් කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා ජෝසපිනා විදාල් කියා සිටියේ මේ වන විටත් ඇමරිකාවේ විදෙස් ප්‍රතිපත්තියේ ඇතැම් කොටස් කියුබා විරෝධී මතයක් පිළිබිඹු කරන බවයි.

වෙළඳ ගනුදෙනු ප්‍රතිස්ථාපනය කිරීම

කස්ත්‍රෝ පවුල කියුබාවේ බලය මෙහෙයවන තෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකු එරට සංචාරය නොකළ යුතු බව පවසන ඇමරිකාවේ රිපබ්ලිකන් පාක්ෂිකයෝ බරක් ඔබාමාගේ සංචාරය විවේචනය කරති.

ඡායාරූප මූලාශ්‍රය, Youtube

වොෂින්ටන් සහ හවානා අතර රාජ්‍යතාන්ත්‍රික බැඳීම් පසුගිය වසරේ වඩාත් ශක්තිමත් වූ අතර පසුගිය ජූලි මාසයේ දී වසර පනස් හතරක් පුරා රටවල් දෙක අතර පැවති ඇතැම් වෙළඳ සහ ගමනාගමන සම්බාධක ඉවත් කෙරිණ.

නෞකා මගින් රටවල් දෙක අතර නැවතත් වෙළඳ ගනුදෙනු ප්‍රතිස්ථාපනය කිරීමට ජනාධිපති බරක් ඔබාමා ඉදිරිපත් කළ යෝජනාව කොන්ග්‍රසයේ බහුතර රිපබ්ලිකන් පාක්ෂිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම නෞකා සම්බාධක මගින් ඇමරිකාව සහ කියුබාව අතර වෙළඳ ගනුදෙනු සීමා කෙරෙන අතර ඇමරිකානු වැසියන් කියුබාවේ සංචාරය කිරීම තහනම් කෙරේ.