ඕස්ට්‍රේලියානු සරණාගත පිළිවෙත තහවුරු කෙරෙන අධිකරණ තීන්දුවක්

සංක්‍රමණිකයන් යවන නාවුරු දූපත

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සංක්‍රමණිකයන් යවන නාවුරු දූපත

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව එරට සරණාගත භාවය පතන පුද්ගලයන් රටින් පිටත අවට දූපත් රාජ්‍යයන්හි රඳවා තැබීමට එරෙහිව සරණාගතයන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් එරට මහාධිකරණය විසින් බැහැර කරනු ලැබ ඇත.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඉතාම අනම්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු අල්ලා එහි සිටින්නන් අවට පිහිටි නාවුරු,මැනුස් සහ පැපුවා නිව්ගිනි වැනි දූපත් වල පවත්වා ගෙන යන කඳවුරු වල රැඳවීමයි සිදු කරන්නේ.

නාවුරු දූපතේ රඳවනු ලැබ සිටින්නන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ඉහත කී වැඩපිළිවෙළට එරෙහිවයි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ.

ඔවුන් අතරින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවට ගෙනැවිත් සිටි බංග්ලාදේශ් කාන්තාවක් විසින් පෙත්සම ගොනු කරනු ලැබ තිබුණි.

බංග්ලාදේශ් කාන්තාවක්

'නාවුරු කඳවුර වසා දමනු'

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නාවුරු කඳවුර වසා දමනු'

එම පෙත්සමට අදාළ සුල මුල පිළිබඳව බීබීසී ය කල විමසීමක දී ඕස්ට්‍රේලියානු අනාථයන් පිලිබඳ මණ්ඩලයේ සාමාජික බාලා විග්නේශ්වරන් කියා සිටියේ කලින් බලයේ සිටි ලේබර් පක්ෂයේ ආණ්ඩුවත් සරණාගතයන් සම්බන්ධයෙන් මෙවැනිම පිළිවෙතක් අනුගමනය කළ බවයි.

‘කලින් බලයේ සිටි ලේබර් පක්ෂයේ ආණ්ඩුවත් අනුගමනය කරපු පිළිවෙතක් තමයි පිළිගත් මට්ටමේ ලියකියවිලි නොමැතිව රටට ඇතුල් වෙන් පුද්ගලයන් ඕස්ට්‍රේලියාවෙන් පිටත නාවුරු සහ මැනුස් වගේ දූපත් වල රැඳවුම් කඳවුරු වලට යැවීම. එසේ යවන ජනතාව දිගටම ඒවායේ රඳවලා තියනව. නාවුරු කඳවුරු ළමුන් රෝගීන් සහ ගර්භනී කාන්තාවන් රඳවලා තියන්න සුදුසු තැනක් නොවෙයි. මේ පෙත්සම ඉදිරිපත් කරලා තිබුණේ බංග්ලාදේශ් කාන්තාවක්. ඇයගේ තර්කය වුනේ ඔවුන් වෙනත් රටකට යැවීම වැරදියි කියන එකයි. මහාධිකරණය දුන් තීන්දුව අනුව ළමුන් 37 දෙනකුත් ඇතුළුව 260 කට අධික සරණාගතයන් ආපසු ‘නාවුරු’ දූපතට යවන්න ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවස්ථාව ලැබෙනවා.’

නෛතික බලය

සරණාගතයන් ආපසු යැවීම නීති විරෝධී බවට පෙත්සම්කාරියගේ නීතිවේදීන් තර්ක කළත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට එවැනි පියවරක් ගැනීමේ නෛතික සහ ව්‍යවස්ථාමය අයිතියක් පවතින බවයි මහාධිකරණයේ තීන්දුව වුනේ.

මෙය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ සංක්‍රමණික පිළිවෙත තහවුරු කෙරෙන ඓතිහාසික නඩු තීන්දුවක් හැටියටයි හැඳින්වෙන්නේ.

ඉදිරි කාලයේදී රටට පැමිණෙන සරණාගතයන් තුන් වෙනි රටක දිගටම රැඳවීමට ද ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට මහාධිකරණ තීන්දුව මගින් මග හෙළි කරයි.

සිරකරු ජීවිතයක්

සයුර තරණය කරමින් ඔස්ට්‍රේලියාව දෙසට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සයුර තරණය කරමින් ඔස්ට්‍රේලියාව දෙසට

එවැනි පියවර ගත හැකි පරිදි පසුගිය වසරේ මැද භාගයේ පටන් ඕස්ට්‍රේලියානු බලධාරීන් නීතියේ වෙනසක් සිදු කර ගෙන ඇති බවයි අනාථයන් පිලිබඳ ඕස්ට්‍රේලියානු මණ්ඩලයේ සාමාජික බාලා විග්නේශ්වරන් පවසන්නේ.

මානව හිමිකම් ක්‍රියාධරයකු වන ඩැනියෙල් වෙබ් කියා සිටින්නේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව සිය භූමියේ සිටින සරණාගතයන් අවට දූපත් වලට පිටුවහල් නොකළ යුතු බවයි.

‘මේ මිනිස්සු පුංචි දූපතක සිරකාර ජීවිතයකට කොටු කරනු ලැබීම මූලධර්ම මට්ටමින් වැරදියි.මේ ප්‍රශ්නයට මැදිහත් මවට මම කතා කළා. පළමුවෙන්ම සිදු වුනේ ඇය හඬා වැටීම. මේ මිනිස්සු ඔක්කොම තමන් ඕස්ට්‍රේලියාවෙන් පිට කරලා කුඩා සිර කඳවුරක රඳවනු ලැබීම සම්බන්ධයෙන් නියත ලෙසම කැළඹීමට පත් වෙනව කියල මම හිතනවා’ දනියෙල් වෙබ් කියා සිටියි.

එහෙත් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහාධිකරණ තීරණය අගය කිරීමට ලක් කොට ඇත.

ශ්‍රී ලාංකික සරණාගතයන්

ශ්‍රී ලාංකික සරණාගතයන් වෙනුවෙන්.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකික සරණාගතයන් වෙනුවෙන්.

අගමැතිවරයා කියා සිටින්නේ රටේ දේශසීමා ආරක්ෂා කර ගත යුතු අතර මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරම්කරුවන්ට ඉඩ නොදිය යුතු බවයි.

මේ අතර යුනිසෙෆ් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් එම සරණාගතයන් පිටුවහල් කරනු ලැබීම නතර කරන මෙන් ඉල්ලීමක් කරයි .

බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයන් රැසක් ද ඉහත කී දූපත්වල රඳවා සිටිති.