පකිස්තාන් පෝලියෝ එන්නත් ව්‍යාපාරයට බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්තානයේ කුවේටා නගරයේ පෝලියෝ සායන මධ්‍යස්ථානයක් අසළ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් අඩු තරමින් පහළොස් දෙනෙකුවත් මරුමුවට පත් වූ බව කුවේටා නගරයේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙක් පවසයි.
මරුමුවට පත් පිරිසෙන් බහුතරය, පෝලියෝ සායන මධ්‍යස්ථානයේ සේවකයන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් භටයෝ වෙති.
මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රතිකාර කණ්ඩායම්, උදෑසන සිය රාජකාරි සඳහා සුදානම් වෙමින් සිටින අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ.
පකිස්තානයේ පෝලියෝ මර්දන වැඩසටහන් හා සම්බන්ධ සේවකයෝ ඉස්ලාමීය කැරලිකරුවන්ගේ මාරක ප්‍රහාරවලට නිතර ගොදුරු වෙති.
බටහිර රටවල් පෝලියෝ එන්නත් ලබා දීම මගින් පකිස්තාන් දරුවන් වඳ භාවයට පත් කිරීමට කටයුතු කරන බවට ඉස්ලාමීය කැරලිකරුවෝ චෝදනා කරති.
පෝලියෝ රෝගය තුරන් කිරීමට නොහැකිව සිටින ලෝකයේ එකම රටවල් දෙක පාකිස්තානය සහ අසල්වැසි ඇෆ්ගනිස්තානයයි.




