ඇෆ්ඝන් අර්බුදයට විසඳුම් සොයන සිව්කොන් සාකච්ඡාවක්

ඡායාරූප මූලාශ්‍රය, b
ඇෆ්ඝනිස්තාන් ආණ්ඩුව සහ තාලිබාන් ව්‍යාපාරය අතර සාම ක්‍රියාදාමයක් සඳහා න්‍යාය පත්‍රය සකස් කිරීමේ අරමුණින් රටවල් හතරක සහභාගිත්වයෙන් නව සාකච්ඡා වටයක් ආරම්භ කරනු ලැබ ඇත.
මෙවර සාම ප්‍රයත්නයට ඇෆ්ඝනිස්තානය ,පාකිස්තානය,චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් හතර සහභාගී වෙන බවයි ප්‍රකාශයට පත් කෙරුණේ.
පකිස්තානයේ පැවැත්වෙන නව සාකච්ඡාවන්හි ඉලක්කය දශක දෙකකට අධික කාලයක් යුද ගැටුම්වලින් පෙළෙන ඇෆ්ඝන් අර්බුදයට විසඳුමක් සොයා ගැනීමයි.
එහෙත් දැනට අභ්‍යන්තර බල අරගල ගණනාවකට මැදි වී සිටින තාලිබාන් සංවිධානය ඉහත කී සිව්කොන් සාකච්ඡාවලට සහභාගි නොවන බවත් වාර්තා වෙයි.
පෙර සාකච්ඡා
තාලිබාන් සංවිධානය සහ ඇෆ්ඝන් ආණ්ඩුව අතර සාම සාකච්ඡා පසුගිය වසරේ(2015) බිඳ වැටුණේ තාලිබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර් 2013 දී මරණයට පත් වූ බව අනාවරණය වීමත් සමඟයි.
ඉන් අනතුරුව ඔහුගේ නියෝජ්‍ය නායකයා වූ මුල්ලා මන්සූර් සංවිධානයේ නව නායකයා හැටියට පසුගිය ජුලි මාසයේ නිවේදනය කෙරුණි.

ඡායාරූප මූලාශ්‍රය, b
එහෙත් තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කීප දෙනෙක් ඔහුගේ නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, මුල්ලා මොහමඩ් රසූල් ගේ නායකත්වයෙන් මුල්ලා මන්සූර් ට එරෙහිව තවත් කණ්ඩායමක් නිර්මාණය කෙරුණි.
පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දී නව සිව්කොන් සාම සාකච්ඡා ආරම්භ වූයේ තාලිබාන් සංවිධානය තුළ එවැනි බල අරගලයක් පවතින අතරයි.
කොන්දේසි විරහිතව
සමුළුව ආරම්භ කරමින් කතා කළ පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් ගේ උපදේශකයකු වන සර්ටාජ් අසීස්, ඉතා ප්‍රවේසමෙන් අදහස් පළ කළ බවයි වාර්තා වන්නේ.
තාලිබාන් සංවිධානය සමඟ සාකච්ඡා සඳහා ‘පූර්ව කොන්දේසි නො පැනවීමේ අවශ්‍යතාව’ ඔහු සිය කතාවේ දී අවධාරණය කොට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AP
‘සංහිඳියා ක්‍රියාදාමයේ මූලික අරමුණ තාලිබාන් සංවිධානය සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා වාතාවරණය සකස් කිරීමයි. දේශපාලන අරමුණක් ඉටු කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය යොදාගැනීමෙන් වැළකීම සඳහා තාලිබාන්වරුන් එකඟ කර ගැනීම පිණිස ඔවුන් දිරිගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමයි. එබැවින් සාකච්ඡා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීම සඳහා පූර්ව කොන්දේසි ඇතුළත් නො කිරීම ඉතා වැදගත්. කොන්දේසි මගින් සිදු විය හැක්කේ සාම වැඩ පිළිවෙළ ආපස්සට යාමයි’ සර්ටාජ් අසීස් පෙන්වා දෙයි.
ඉහත කී සිව්කොන් සාකච්ඡා පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන ඉස්ලාමාබාද් නුවර බීබීසී වාර්තාකරු,එම් ඉල්යාස් ඛාන් පවසන්නේ ඇමෙරිකාව සහ චීනය සාකච්ඡාවලට සහභාගී වීම ඉතා වැදගත් කරුණක් වන බවයි.
සැක තුනී කර ගැනීමක්
පකිස්තානයේ උත්සාහය පිළිබඳ ව ඇෆ්ඝනිස්තානය දක්වන සැක මුසු ආකල්පය එමගින් කිසියම් දුරකට මග හැරිය හැකි බවයි ඔහු පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
කෙසේ වුවද,පකිස්තානය සහ තාලිබාන් ව්‍යාපාරය අතර සබඳතාවන්හි පවතින දැඩි සංකීර්ණ ස්වභාවය හේතුවෙන් සංහිඳියා ක්‍රියාදාමය ද ඉතා සංකීර්ණ සහ දිග ඇදෙන ක්‍රියාවලියක් බවට පත්වීම නොවැලැක්විය හැකි බවත් බීබීසී වාර්තාකරු පවසයි.
විශේෂයෙන්ම සාකච්ඡාවල දිශානතිය සම්බන්ධයෙන් පකිස්තානය කෙතරම් සෑහීමකට පත් වන්නේ ද යන්න මත ‘කාබුල්’ පාලනය ඉදිරිපත් කරන යෝජනා කෙරෙහි තාලිබාන් සංවිධානය දක්වන ප්‍රතිචාරය රඳා පවතිනු ඇත යන්න විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.
පාකිස්තානය තාලිබාන් නායකත්වයට රැකවරණය සපයන බවට බොහෝ දෙනා අතර පවතින විශ්වාසය සහ තාලිබාන් සංවිධානයේ අභ්‍යන්තර බල අරගලයත් සංහිඳියා ක්‍රියාදාමය ඉදිරියේ මේ මොහොතේ පවතින ප්‍රබල බාධක වෙති.








