ලාහෝර් කතුන් තිදෙනෙක් 'IS' සංවිධානයට

කාන්තාවන් සිය දරුවන්ද රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ (සංරක්ෂිත ඡායාරූපයක්)
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවන් සිය දරුවන්ද රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ (සංරක්ෂිත ඡායාරූපයක්)

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය හා එක් වීම සඳහා පාකිස්තාන කාන්තාවන් තිදෙනකුවත් ලාහෝරයේ සිට සිරියාව බලා ගොස් ඇති බව පාකිස්තාන පොලිසිය පවසයි.

අයි එස් කැරලිකරුවන්ගේ පාලනයේ පවතින කලාප වෙත පාක්ස්තාන කාන්තාවන් ගොස් ඇති බව වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඉහත කී කාන්තාවන් සිය දරුවන්ද රැගෙන පළමුව ඉරානය බලා ගොස් එතැන් සිට සිරියාව බලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

තම රට තුළ අයිඑස් කැරලිකරුවන් සිටින බව හෝ ක්‍රියාත්මක වන බව මීට ඉහත අවස්ථාවලදී පාකිස්තානය ප්‍රතික්ෂේප කළේය.

නමුත් මේ සතිය ආරම්භයේදී පාකිස්තාන ආරක්ෂක අංශ කියා සිටියේ ලාහෝර් නුවර ආසන්නයේ ක්‍රියාත්මක වූ අයිඑස් හිතවාදීන්ගේ තිප්පොළක් තුළට සිය භට කණ්ඩායමක් කඩා වැදුණු බවයි.