'ඇමරිකානු මුස්ලිම් තහනම' ගැන දැඩි විරෝධයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මුස්ලිම්වරුන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කළ යුතු බවට රිපබ්ලිකන් පක්ෂයේ ජනපති ධුර අපේක්ෂකයකු කළ ප්‍රකාශය එම පක්ෂයේ සහ අනෙකුත් පක්ෂ නියෝජනය කරන එරට දේශපාලනඥයන් දැඩි ලෙස හෙළා දැක තිබේ.

බොහෝ මුස්ලිම්වරුන් ඇමරිකාව කෙරෙහි වෛරී ආකල්පයක් දරන බව මෑතකදී සිදු කළ සමීක්ෂණයකින් පෙන්නුම් කරන බවයි රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty

එවැනි වෛරී ආකල්පයක් ඇති වීමට මුල් වූ කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා තෙක් ඇමරිකානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම්වරුන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කළ යුතු බව ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය නිවේදනය කළේ එම ප්‍රකාශය ඇමරිකානු හර පද්ධතීන්වලට පටහැනි බවයි.

මේ අතරතුර සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය අනතුරු අඟවමින් කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ සිදු වන මෙවැනි බරපතළ වචන භාවිතය හේතුවෙන් සිරියානු සරණාගතයන් ඇමරිකාව තුළ නැවත පදිංචි කර වීමේ වැඩ සටහන තර්ජනයට ලක් වී තිබෙන බවයි.