'සතුරන්ට එක් වුනොත් පුරවැසි භාවය අහෝසි කරනවා'

ගෝලාන් කඳුකරය ආශ්‍රිතව ඊශ්‍රායල අමුදා සෝදිසි මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝලාන් කඳුකරය ආශ්‍රිතව ඊශ්‍රායල අමුදා සෝදිසි මෙහෙයුම්

පැරිෂූටයක් භාවිතා කරමින් නීති විරෝධී ලෙස සිරියාවට පලා ගිය ඊශ්‍රායල ජාතිකයකුගේ පුරවැසි භාවය අවලංගු කිරීමට කටයුතු කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

සිරියාවේ ක්‍රියාත්මක වන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එකතු වීම සඳහා මෙම ඊශ්‍රායල ජාතිකයා ගෝලාන් කඳුකරය හරහා සිරියාවට ඇතුළු වී ඇති බවටයි විශ්වාස කරන්නේ.

සිරියාවට පලා ගිය පුද්ගලයා ඊශ්‍රායලයේ අරාබි මුස්ලිම් සුළුතරයට අයත් බව පැවසෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම ඇමතූ අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ මෙවන් සිදුවීමක් නැවත සිදු වුවොත් සිය ප්‍රතිචාරය මෙයම වන බවයි.

ඊශ්‍රායලයේ සතුරකු වන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සහය දීමට පලා යන කිසිදු එශ්රායල ජාතිකයෙකු සිය රටේ පුරවැසි භාවය නොදරනු ඇති බවට අගමැතිවරයා මෙහිදී අනතුරු අඟවා තිබේ.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන්නේ මධ්‍යස්ත පිළිවෙතකි.

ඊශ්‍රායල වැසියන්ට සිරියාවට ඇතුළු වීම නීතියෙන් තහනම් නමුත් ඇතැම් ඊශ්‍රායල අරාබි මුස්ලිම් සුළුතරයට අයත් පුද්ගලයන් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එකතු වීමට කඳුකරය හරහා සිරියාවට ඇතුළු වන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.