හෘදයාබාධ තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
හෘදයේ හට ගන්නා වේදනාව ඇතිවන්නේ හෘදයාබාධයක් හෙතුවෙන්ද යන්න තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ.
හෘදයේ වේදනාවක් හට ගත් විට රෝහල් කරා ඇදී යන වැඩි පිරිසකට එමගින් පහසුවෙන් තම රෝගී තත්වය කලින් නිශ්චය කර ගැනීමට හැකි වෙයි.
මෙම නව පරීක්ෂණය සොයා ගෙන ඇත්තේ ස්කොට්ලන්ත සහ ඇමරිකා එක්සත් ජනපද පර්යේෂකයන් විසින්.
නව ක්‍රමය සොයා ගෙන ඇත්තේ දැනට භාවිතයේ පවතින ලේ පරීක්ෂණයක් ඉතා සියුම් ලෙස වැඩි දියුණු කිරීමෙන්.

ඡායාරූප මූලාශ්‍රය, Getty
හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාවේ දී ලේ වල ඉහල මට්ටමකින් පවතින ට්‍රොපොනින්(troponin) නමැති ප්‍රෝටීන කලින් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණය මගින් හැකියාව ලැබේ.
ට්‍රොපොනින් යනු හෘදයාබාධයක් ඇති වීමෙන් පසු පිට කෙරෙන රසායනියක්.
නව පරීක්ෂණය මගින් ට්‍රොපොනින් ප්‍රමාණය සොයා බලෙන අතර එය අඩු මට්ටමක පවතින්නේ නම් පරීක්ෂණ සිදු කළ යුත්තේ එක වරක් පමණි.
මෙය ඉතා සියුම් පරීක්ෂණයක් වන අතර අඩු අවදානමක් පවතින රෝගීන් හඳුනා ගෙන ඔවුන් ඉතා ඉක්මනින් රෝහල් වලින් නිදහස් කිරීමට හැකියාව ලැබෙන බවයි පර්යේෂකයන් පවසන්නේ.
ලාන්සට් (Lancet) වෛද්‍ය සඟරාවේ තම සොයා ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය කරන විද්‍යාඥයන් සඳහන් කළේ නව පරීක්ෂණය මගින් අනවශ්‍ය ලෙස රොගීන් රෝහල් වලට ඇතුළත් කිරීම අඩු කළ හැකි බවත් සෞඛ්‍ය සේවා සපයන්නට සැලකිය යුතු ලෙස වියදම් කපා හැරීමටද හැකියාව ලැබෙන බවයි.








