අඟහරු ජීවීන්; අපේ කාලයේ දැකිය හැකි වේවිද?

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library
රතු ග්‍රහයා ලෙස හඳුන්වන අඟහරු මත ජීවයක් පැවතීම සම්බන්ධයෙන් සියවසකට අධික කාලයක් මුළුල්ලේ අනුමාන කෙරිණ.
තමා අඟහරු ග්‍රහයා මතුපිට ඇළ මාර්ග දුටු බව 19 වන සියවසේ විසූ ඇමරිකානු තාරකා විද්‍යාඥයකු වන පර්සිවල් ලොවෙල් විශ්වාස කළේය.
ඒ අනුව ලොවෙල්ගේ අනුමානය වූයේ අප අසල්වැසි ග්‍රහයා මත ජීවයක් පවතිනවා පමණක් නොව එහි දියුණු ශිෂ්ටාචාරයක් ඇතැයි සිතිය හැකි බවයි.
අඟහරු මත ජීවයක් පවතිනවාය යන සංකල්පය මත හිඳ මේ හා සමගාමීව විද්‍යා ප්‍රබන්ධ නව කතා, චිත්‍ර කතා මෙන්ම රතු ග්‍රහයා හා පෘතුවිය සම්බන්ධ ආක්‍රමණ රැගත් හොලිවුඩ් චිත්‍රපට බිහි විය.

ඡායාරූප මූලාශ්‍රය, SPL
හැටේ සහ හැත්තෑව දශකයේ දී ගනු ලැබූ චන්ද්‍රිකා ඡායා රූප මගින් අඟහරු මතුපිට ඇළ මාර්ග ඇති බවට වූ මතය සත්‍ය නොවන බව තහවුරු විය.
නාසා ආයතනයේ වයිකින් යානය මගින් මුල් වර ගනු ලැබූ ඡායා රූප මගින් තවදුරටත් හෙළි වූයේ අඟහරු ජනශුන්‍ය හුදකලා ග්‍රහලොවක් බවයි.
අනතුරුව වයිකින් යානය විසින් අඟහරු මතුපිට ගනු ලැබූ පාෂාණ සාම්පල ඔස්සේ එහි ජීවයක් පැවැත්වීමේ ඉඩකඩක් ඇතැයි හැඟවුන නමුත් එම පරීක්ෂණ ප්‍රතිඵල නිවැරදි නොවන බව පසුව තහවුරු විය.
එතැන් පටන් මේ දක්වා වසර විස්සක කාලයක් තුළ අඟහරු ග්‍රහයා හඳුන්වනු ලැබුවේ ජීවයෙන් තොර වියලි දුහුවිලි සහිත ග්‍රහයෙක් ලෙසයි.
අනූව දශකයේ අග භාගයේ සිට දෙදාහ දශකය දක්වා සිදු කළ අඟහරු මෙහෙයුම් වෙතින් ලැබුණු දත්ත මගින් ඇතැම් විට පෙනෙන්නට තිබුණේ අඟහරු යනු මිය යමින් තිබෙන ග්‍රහයකු නොවන බවයි.

ඊට අමතරව අඟහරු මතුපිට ඇතැම් ප්‍රදේශවල පොළව යට අයිස් තැන්පත්ව ඇතැයි සිතිය හැකි බවත් හැඟවුනි.
අඟහරු මතුපිට ඝන වායුගෝලයක් තිබී ඇතිවාක් මෙන්ම විල් සහ සාගර තිබී ඇති බවටත් මෙහෙයුම් ගණනාවක් ඔස්සේ එක්රැස් කරන ලද දත්ත මගින් පෙනෙන්නට තිබිණ.
රතු ග්‍රහයා මත ජීවයක් පැවතිය හැකි බව සිතිය හැකි සාධක නැතුවා නොවේ.
ජීවයක් පැවතීමට නම් ද්‍රව ජලය අත්‍යවශ්‍ය සාධකයකි.
අඟහරු ලෝකය මත දියරමය ජලය පවතින බවට තහවුරු කළ හැකි නවතම චන්ද්‍රිකා ඡායාරූප ලැබී ඇති බව නාසා ආයතනය පසුගියදා පැවසීය.
ග්‍රහයා මතුපිට පවතින අගාධ තුළට නෙරා යන ඉරි වැනි සලකුණු, ලවණමය දියර ගලා යාම නිසා ඇති වුනු සලකුණු බවයි නාසා විද්‍යාඥයන් කියා සිටියේ.
නමුත් එමත පවතින දැඩි ශීතල හේතුවෙන් නාසා ආයතනය පළ කළ අදහස බොහෝ දෙනෙක් බැහැර කළහ.
මතුපිට පිහිටි බෑවුම් මුදුන්වල සහ ආවාට බිත්ති මත වූ අඳුරු රේඛා මත විවිධ වර්ගයේ ලවණ තැන්පත් වී ඇති බවටත් සාක්ෂි පසුගියදා හමු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
රතු ග්‍රහයා තවමත් භූගෝලීය වශයෙන් ක්‍රියාකාරී ග්‍රහයකු බව එම සොයා ගැනීම ඔස්සේ සනාථ වේ.
ඒ අනුව එමත සරල ජීවී කොටස් පවතින බවට වූ අනුමානය ඉහළ යමින් පවතියි.
රතු ග්‍රහයා මත ජීවයක් පවතුනාද නැතිනම් තවදුරටත් පවතිනවාද යන්න සොයා ගනු වස් නසා ආයතනය, යුරෝපය සහ රුසියාව ඉදිරි වසර කිහිපය සඳහා අභ්‍යවකාශ මෙහෙයුම් සැලසුම් කොට තිබේ.
ඒ බව වසර පහක් ඇතුළත අපට දැන ගැනීමට හැකි වනු ඇත.
2004 වසරේදී යුරෝපා අභ්‍යවකාශ ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘මාර්ස් එක්ස්ප්‍රස්’ යානය ඔස්සේ ලබා ගත් දත්ත මගින් කියවුනේ අඟහරු මත මීතේන් වායුව ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Nasa
මීතේන් වායුව නිෂ්පාදනය විය හැකි ආකාරයන් කිහිපයකි.
ගිනි කඳු, භූ ක්‍රියාකාරකම් හෝ ජීවීන් ඔස්සේ මීතේන් වායුව නිෂ්පාදනය වේ.
නාසා ආයතනය විසින් පසුගිය වසරේදී අභ්‍යවකාශ ගත කළ ‘කියුරියෝසිටි රෝවර්’ යානය අඟහරු මත මීතේන් වායුව ඇති බව යළි සනාථ කළේය.
රතු ග්‍රහයා මත වූ ජීව විද්‍යාත්මක සලකුණු සොයනු වස් නාසා ආයතනය 2020 වසරේදී තවත් ‘රෝවර්’ යානයක් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි.








