ඉන්දියාවට බලපාන නේපාල ෆෙඩරල් ව්‍යවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, ram sarraff

නේපාලයේ සැකසුණු නව ව්‍යවස්ථාවට එරෙහිව නේපාලයේ දකුණු දිග ප්‍රදේශයේ විරෝධතා දිගටම පැවැත්වෙද්දී නේපාලය සහ අසල්වැසි ඉන්දියාව අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.

විරෝධතා වලට එක්ව සිටින්නේ දකුණු දිග මිටියාවත් ප්‍රදේශවල වෙසෙන වාර්ගික ජන කොටස් අතර ඔවුන් පවසන්නේ නව ව්‍යවස්ථාව මගින් තමන් නොවැදගත් කොට සලකා ඇති බවයි.

මේ හේතුවෙන් දෙරට දේශ සීමා හරහා ප්‍රවාහනය ඇන හිටීමෙන් අහාර, බෙහෙත් ද්‍රව්‍ය මෙන්ම සෙසු සේවා සපුම් වලට බාධා පැමිණ තිබේ.

ඉන්දියාවේ නොසතුට

ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ නේපාලයත් ඉන්දියාවත් අතර දේශ සීමාවේ ප්‍රවාහනයට බාධා ඇතිවී තිබෙන්නේ නේපාලයේ ජනතාවගෙන් කොටසක් අසහනයෙන් පසු වන නිසා බවයි.

ඔවුන් විරෝධතා සහ උද්ඝෝසන පවත්වන්නේ ඒ නිසා බවයි එම නිවේදනයෙන් කියවෙන්නේ.

මෙම අර්බුදය දේශපාලන ස්වරූපයක් ගන්නා නිසා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අසතුටට පත් කණ්ඩායම් ඉදිරිපත් කරන ඉල්ලීම් වලට කන්දිය යුතු බව නිවේදනය නිකුත් කරන ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයා කියා සිටී.

ඡායාරූප මූලාශ්‍රය, ram sarraff

ව්‍යවස්ථාව සහ වාර්ගික කණ්ඩායම්

ඉන්දියාව මේ සඳහන් කරන කණ්ඩායම් නම් විරෝධතා වලට එක්ව සිටින දකුණු දිග මිටියාවත් ප්‍රදේශවල වෙසෙන මධෙසි සහ තාරු යන ජන කණ්ඩායම් දෙකයි.

ඔවුන් පවසන්නේ නව ව්‍යවස්ථාව මගින් තමන් නොවැදගත් කොට සලකා ඇති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම් වලින් ප්‍රධාන ඒවාට නව ව්‍යවස්ථාව මගින් ආමන්ත්‍රණය කොට ඇති අතර සෙසු ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට නායකයන් විසින් ලිඛිත ප්‍රතිඥාවක් ලබා දී ඇත.

නව ව්‍යවස්ථාව මගින් නේපාලය ෆෙඩරල් ප්‍රාන්ත හතකට බෙදා තිබේ.

ව්‍යවස්ථාවට ඉන්දියාවේ බලපෑම

ඉන්දියාව ඉකුත් වසර දහය තුළ මෙම ව්‍යවස්ථා සම්පාදනය ක්‍රියාවලිය පිටු පස සිටියත් නව ව්‍යවස්ථාව පුළුල් ආකාරයට සකස් වී නැති බවටයි ඉන්දියාව විශ්වාස කරන්නේ.

එම නිසා දකුණු මිටියාවත්වල ඇති විය හැකි ප්‍රචණ්ඩත්වය ඉන්දීය දේශ සීමාව තුලද බලපෑමක් ඇති විය හැකි බවයි ඉන්දියාව පවසන්නේ.

තමන්ට ඉන්දියාව සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බව දකුණු මිටියාවත්වල වෙසෙන ජනතාව විශ්වාස කරති.

මේ නිසා ඔවුන් ඉන්දියාවේ සහය බලාපොරොත්තුවනවා සේම ඉන්දියාවද එම ජනතාවගේ ඉල්ලීම් වලට නේපාල රජයෙන් විසඳුම් ලැබිය යුතු බව කියා සිටියි.

'දේශපාලන කොන්කිරීම'

නව ව්‍යවස්ථාව මගින් යෝජිත මායිම් වෙන් කිරීම් මගින් තමන් දේශපාලන වශයෙන් කොන් කිරීමකට ලක් වෙනු ඇති බව දකුණු දිග මිටියාවත් ප්‍රදේශවල වෙසෙන තරෙයි ජනතාව විශේෂයෙන් මධේෂි සහ තාරු ජනතාව කියා සිටිති.

මධේෂි සහ තාරු ජන කණ්ඩායම් නේපාල ජනගහනයෙන් සියයට හතළිහක් පමණ වන අතර ඔවුන් හා ඉන්දියාව අතර සමඟ සමීප වාර්ගික බැඳීම් පවතී.