පකිස්තානය: මාධ්‍යවේදීන්ට අනතුරුදායකයි

පකිස්තානයේ මාධ්‍ය ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්තානයේ මාධ්‍ය ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

තුවක්කුකරුවන් පකිස්තානයේ හිටපු ජනමාධ්‍යවේදි අෆ්තාබ් අලාම් ට වෙඩි තබා මරා දැමීමත් සමඟම මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර පිළබඳව දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වී ඇත.

අෆ්තාබ් අලාම්, ජියෝ ටී වී මාධ්‍ය නාලිකාව වෙනුවෙන් සේවය කළ අතර ඔහුට වෙඩි තබා මරා දමා ඇත්තේ ඔහුගේ නිවස අසලදීය.

මේ වෙඩි තැබීමත් සමඟ පකිස්තානයේ ජන මාධ්‍ය වේදියෙකුට පැය විසි හතරක කාලය තුලදී එල්ල වූ තුන්වන ප්‍රහාරය මෙයයි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

අඟහරුවාදා රාත්‍රියේ ජියෝ ටී වී මාධ්‍ය නාලිකාවේ ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා භාවිතා කළ බස් රථයේ රියැදුරු සහ තාක්ෂණික නිලධාරියෙක් කරච්චි නගරයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මිය ගියහ.

ඉස්ලාමාබාද් හි සිට වාර්තා කළ බී බී සී යේ ඉල්යාස් ඛාන් කියා සිටියේ මෙම ප්‍රහාර වලට බලපා ඇති හේතු තවමත් අනාවරණය වී නැති බවයි.තවමත් මේ පිළිබඳව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

පෙෂාවර් නගරයේදී වෙඩි ප්‍රහාරයක්

පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ.

මේ අතරවාරයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වූ පී.ටී.වී හි සේවය කළ මාධ්‍යවේදියෙකුට පෙෂාවර් නගරයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහුට බරපතල තුවාල සිදුවී ඇත.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජියෝ මාධ්‍ය නාලිකාවේ ප්‍රධාන නිවේදකයෙක් වූ හමීඩ් මීර් වෙඩි තබා මරා දැමු අතර ඔහුගේ නෑදෑයින් පවසන්නේ ආණ්ඩුවේ බුද්ධි අංශ මෙම මරණයට වග කිව යුතු බවයි.

පසුගිය ජනවාරි මාසයේදී එක්ස්ප්‍රස් මීඩියා ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් මරා දමන ලදී.

පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ.මේ සමඟම ජනමාධ්‍යවේදීන්ට සේවය කිරීමට අමාරුම රටක් හැටියට ජන මාධ්‍යවේදීන් ගේ එකතුව විසින් පකිස්තානය නම් කොට තිබේ.