'ආන්දෝලනාත්මක රැජින' සානියා මිර්සා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සිට බීබීසී හින්දි සේවයේ ‘ගූගල් හැන්ග් අවුට්’ හරහා සංවාදයක නිරත වූ මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ කාන්තා යුගල තරඟයේ ජය හිමි කර ගත් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා පැවසුවේ කටකතා වලින් බේරී සිටීම ඉතා අපහසු කාර්යයක් වන බවයි.

පැතිරෙන කටකතා සම්බන්ධයෙන් සිනා මුසුව කතා කළ ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා කියා සිටියේ තමන් නිසා ප්‍රකාශන සමාගම් සිය පුවත්පත් වැඩිපුර අලෙවි කර ගන්නේ නම් තමන් එයින් සතුටු වන බවයි.

සානියා මිර්සා ඒ බව කියා සිටියේ ඇය 'ආන්දෝලනාත්මක රැජින' යන නාමයෙන් හැඳින්වීම පිළිබඳව ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ කාන්තා යුගල අංශයෙන් ස්විස්ටර්ලන්ත ජාතික මාර්ටිනා හින්ගිස් සමග ක්‍රීඩා කළ සානියා මිර්සා විම්බල්ඩන් කාන්තා යුගල ශ්‍රේණි ගත කරණයේ ඉහලම ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වූවාය.

බීබීසී හින්දි සේවය සමඟ සංවාදයේ නිරත වෙමින් සානියා පැවසුවේ, පසු ගිය වසර දහයක කාලය ඇතුළත තමන් කරන සහ නොකරන දේවල් සියල්ල සම්බන්ධයෙන් මාධ්‍ය කතා කිරීමට පටන් ගත් බවයි.

පකිස්තානයේ ප්‍රසිද්ධ චරිතයක් වන ක්‍රිකට් ක්‍රීඩක ශෝඇබ් මලික් සමග විවාහ වීමත් සමග ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය විශාල වශයෙන් යොමු වුන අතර ඉන්දීය ජනතාව අතර ඇය විවාදයට ලක් තාරකාවක් බවට පත් වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ නයක කේ.ලක්ෂ්මන් 'පකිස්තානයේ ලේලිය' වශයෙන් සානියා මිර්සා හැඳින්වීමත් සමග ඇය සම්බන්ධයෙන් ජන මාධ්‍ය තුල මතභේදාත්මක ප්‍රතිචාර පළ කෙරුණි.

ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් කියා සිටියේ, ඉන්දියාවේ ක්‍රිකට් තරු ජනමාධ්‍යයට ප්‍රධාන මාතෘකා සපයන අතර ජනතාව ඔවුන්ට ආදරය කරනවා සේම ඇතැම් විට වෛර කරන බවයි.

වැඩි දුරටත් බීබීසියට සිය අදහස් දැක්වූ සානියා මිර්සා පැවසුවේ වයස අවුරුදු පහළොවේ සිට තමා මාධ්‍ය අවධානය දිනා ගත් අතර යළි අතීතයට ගොස් සිය හැසිරීම වෙනස් කිරීමට අවස්ථාවක් ලබා දුන්නද තමන් එලෙස නොකරන බවයි.

අද තමා සාර්ථක ටෙනිස් ක්‍රීඩිකාවක් වීමට සහ ක්‍රීඩා තාරකාවක් වීමට බල පෑ හේතුව සිය වැරදි වලින් පාඩම් ඉගෙණ ගැනීම වන බවයි සානියා මිර්සා පවසන්නේ.