ප්‍රංශ ජනපතිවරුන් ගැන 'ඇමෙරිකාව ඔත්තු බලලා'

ඡායාරූප මූලාශ්‍රය, AFP
ප්‍රංශයේ රාජ්‍ය නායකයන් තිදෙනකු පිළිබඳව ඔත්තු බැලූ බවට පළවන වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි කරන මෙන් ප්‍රංශ බලධාරීහු පැරිසියේ සිටින එක්සත් ජනපද තානාපතිවරයාට නියෝග කළහ.
සිය රටේ ජාතික ආරක්ෂාව සහ අවශ්‍යතාවයන් අනතුරේ හෙලන කිසිදු ක්‍රියාදාමයක් නොඉවසන බවයි ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් පවසන්නේ.
මතුවී තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති ඔලොන්ද් විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ හදිසි රැස්වීමක් කැඳවනු ලැබ තිබේ.
ඊට පෙරාතුව ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද හමුවිය.
විකීලීක්ස් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙන ලියකියවිලි පිළිබඳව විමසීම පිණිස ජ්‍යෙෂ්ඨ රහස් ඔත්තු සේවා නිලධාරීන් පිරිසක් එක්සත් ජනපදයට පිටත්කර යැවීමටද ප්‍රංශය සූදානම් වේ.
ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්ද් සහ ඔහුගේ පූර්වගාමීන් දෙදෙනා පිළිබඳව ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය ඔත්තු බලා ඇති බවයි, විකීලීක්ස් වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කළ ලිපිලේඛනවලින් ඉඟිකෙරෙන්නේ.
ජනාධිපති ඔලොන්ද්ගේ සන්නිවේදන කටයුතු පිළිබඳව තොරතුරු සොයා නොබලන බව පවසන එක්සත් ජනපදය, සිය අතීත ක්‍රියාකාරකම් පිළිබඳව කිසිවක් සඳහන් කොට නැත.




