ඉන්දීය වඳ සැත්කම් කාන්තා මරණ තවත් වැඩි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මධ්‍යම ඉන්දියාවේ කාන්තාවන්ට වඳ සැත්කම් සිදු කරන රජයේ සායනයක සිදු කෙරුණ ශල්‍යකර්ම හේතුවෙන් මිය ගිය ගණන පහළොව දක්වා ඉහළ ගොස් තිබේ.
ශල්‍යකර්ම මෙහෙයවූ වෛද්‍යවරයා කියා සිටින්නේ අදාළ මරණ සම්බන්ධයෙන් තමන්ට චෝදනා කිරීම අසාධාරණ බවයි.
එම සායනය මගින් සිදු කෙරුණු වඳ සැත්කම් වලට ලක් වූ කාන්තාවන් අතරින් මිය ගිය පහළොස් දෙනාට අමතරව තවත් අනූවක් පමණ දෙනා දරුණු ලෙස රෝගාතුර ව මේ වන විට 'චටිස්ගාර්' ප්‍රාන්තයේ ප්‍රතිකාර ලබමින් පසු වෙති.
අදාළ සැත්කම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍ය ආර් කේ ගුප්තා කියා සිටින්නේ භාවිතා කළ ඖෂධ වල වැරැද්දක් හේතුවෙන් මෙම තත්වය ඇති වීමට ඉඩ ඇති බවයි.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම සිදුවීමට පෙර තමන් දිනකට වඳ සැත්කම් තුන්සීයක් පමණ ප්‍රමාණයක් මෙහෙය වූ බවයි.
නමුත් ඉන්දීය රජයේ රෙගුලාසි වලට අනුකූලව දිනකට සායනයක දී මෙහෙය විය හැකි උපරිම වඳ සැත්කම් ගණන තිස් පහකි.




