ගෘහ සේවිකාවකට ඩොලර් අසූ දාහක්

සෞදියේ පිලිපීන ගෘහ සේවිකාවක්.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදියේ පිලිපීන ගෘහ සේවිකාවක්.

සෞදි අරාබියේ දී සිය හාම්පුතාගේ වධ හිංසාවන්ට ලක් වූ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවකට ඇය මෙහෙ කළ එම හාම්පුතාගෙන් වාර්තාගත වන්දි මුදලක් හිමි විය.

වධ හිංසාවන්ට ලක් වූ ගෘහ සේවිකාවට ගෙහිමියන් විසින් වසර හතක කාලයක් දිගින් දිගටම පහර දෙනු ලැබීම නිසා යළි යථා තත්වයට පත් කළ නොහැකි මට්ටමින් ඇයගේ සිරුර විරූප වී ඇති බවයි පැවසෙන්නේ.

එම කාන්තාව ‘මක්කම’ මුස්ලිම් පල්ලිය අසල දමා ගොස් තිබියදී සෞදි අරාබි බලධාරීන් අතට පත්ව තිබුණ අතර, ඇයගේ ඉරණම තීන්දු වී තිබෙන්නේ රියාද් නගරයේ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ අවධානය ඇය වෙත යොමු වීමෙන් අනතුරුවයි.

තානාපති පිහිට

ඉන්දුනීසියානු තානාපති නිලධාරීන් ඇයගේ හාම්පුතාට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ගයක් ගැනීමට උත්සාහ කරමින් සිටි අතර උසාවියෙන් පිටත දී ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට දෙපාර්ශවය අවසානයේ එකඟ වූ බවයි වාර්තා වන්නේ.

මේ අනුව වධ හිංසාවන්ට ගොදුරු වූ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවට ඩොලර් අසූ දාහක් වන්දියක් ගෙවීමට ඇයගේ පරණ හාම්පුතාට සිදු විය.

ශ්‍රී ලාංකික කාන්තාවන් දහස් ගණනක්ද සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදෙන අතර බොහෝ කාන්තාවන් හාම්පුතුන්ගේ අතවර හිරිහැර ආදියට ගොදුරු වෙන බවට පැමිණිලි ලැබෙයි.