ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව ඉස්ලාමාබාද් නුවර දෙසට ඇදෙන විරෝධතා පා ගමනේදී විපක්ෂයේ දේශපාලන බල කණුවක් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ගමන් කළ රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වෙඩි පහරින් ඉම්රාන් ඛාන්ට තුවාල සිදුවී නොමැති නමුත් එය ආණ්ඩුවට සහයෝගය දක්වන්නන් සහ විරෝධතා කරුවන් අතර ගැටුම් හට ගැනීමට හේතු වී තිබේ.
ඉස්ලාමාබාද් නුවරට ආසන්නයේ ගුජ්රන්වාලා නගරයේදී වෙඩි තැබීම සිදු වී ඇති අතර එහිදී ඉම්රාන් ඛාන් විසින් විරෝධතා කරුවන් අමතමින් කතාවක්ද පවත්වා තිබේ.
විරෝධතා කරුවන් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් අතර ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙන නමුත් ජීවිත හානි හෝ බරපතල තුවාල සම්බන්ධයෙන් වාර්තා නොවන බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
නවාස් ෂරීෆ් බලයට පැමිණීමෙන් පසු ඇති වූ විශාලතම විරෝධතාවය වශයෙන් මෙම පෙළපාලිය හැඳින්විය හැකි බවයි පාකිස්තාන ආරංචි මාර්ග පවසන්නේ.
ඉම්රාන් ඛාන්ට අමතරව විපක්ෂයේ ඉස්ලාමීය පූජකයකු වන තාහීර් උල් ඛද්රි ද විරෝධතා පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කරයි.
විරෝධතා කරුවන් ඉල්ලා සිටින්නේ නවාස් ෂරීෆ්ට සිය අගමැති තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි.




