නයිජීරියානු දැරියන්ට මලාලාගේ ගෞරවය

ඇමරිකානු ජනපති බරක් ඔබාමා ඕවල් කාර්යාලයේදී මලාලා යූසාෆ්සායි හමු වූ අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, White House

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ජනපති බරක් ඔබාමා ඕවල් කාර්යාලයේදී මලාලා යූසාෆ්සායි හමු වූ අවස්ථාව

මීට වසර දෙකකට ඉහතදී පාකිස්තානයේ තාලිබාන් තුවක්කු කරුවන් විසින් හිසට වෙඩි තබන ලද මලාලා යූසුෆ්සායි තරුණිය නයිජීරියාවේ අබුජා අගනුවර සංචාරයක නිරත වී සිටියි.

මේ සංචාරය, ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් ඇය දියත් කොට තිබෙන ව්‍යාපාරයේ තවත් එක් පියවරක්.

ඉස්ලාමීය බොකෝ හරාම් සංවිධානය විසින් දෙසීයකට වැඩි නයිජීරියානු පාසල් දැරියන් පැහැර ගැනීමට ලක්ව මාස තුනක් ගත් වෙද්දීයි, මලාලා යූසුෆ්සායි නයිජීරියාවේ සංචාරයක නිරත වෙන්නේ.

ගරු කිරීමක්

සිය අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් විශාල වන්දියක් ගෙවූ, පැහැර ගැනීමට ලක් වුන නයිජීරියානු දැරියන්ට කෙරෙන ගරු කිරීමක් වශයෙන්, තමා නයිජීරියාවේ සංචාරය කරන බව මලාලා නිකුත් කළ නිවේදනයක සඳහන්.

පාකිස්තාන දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් මලාලා වෙඩි ප්‍රහාරයට ලක් විය.

තාලිබාන් ප්‍රහාරකයන් ඇයගේ හිසට සහ ගෙලට වෙඩි තබන ලද අතර ඉන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට රැගෙන එනු ලැබීය.

බ්‍රිතාන්‍යයේ දී සුවය ලද මලාලා යූසාෆ්සායි, කාන්තා අයිතීන් වෙනුවෙන් නොනවත්වා තම හඬ අවදි කරන බවට ප්‍රතිඥා දෙනු ලැබුවාය.