පොතත් පෑනත් දකින විට අන්තවාදීන් තැති ගන්නවා - මලාලා යූසුෆසායි

Malala addressing UN
ඡායාරූප ශීර්ෂ වැකිය, තමාට වෙඩි තැබූ අයට සමාව දෙන බව මලාලා පවසන්නීය

පොතත් පෑනත් දකින විට අන්තවාදීන් තැති ගන්නා බව කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් තාලිබාන් ව්‍යාපාරයේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන දැරිය පවසන්නීය.

දරුවන්ගේ අධ්‍යාපනය සහතික කිරීම ලොව පුරා රටවල බොහෝ දැවෙන ප්‍රශ්නවලට එකම විසඳුම බව මලාලා යූසුෆසායි අවධාරණය කළේ නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී.

පසුගිය ඔක්තෝබරයේදී හිසට වෙඩි වැදී අසාධ්‍ය තත්වයට පත් වූ ඇය සිය දහසය වැනි උපන් දිනය අනුස්මරණය කළේ, විශේෂයෙන්ම කැඳවන ලද එක්සත් ජාතීන්ගේ රැස්වීමක් අමතමින්.

"අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකුගේම අයිතියක් පමණක් නොව, එය ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි, ඉස්ලාම් ධර්මයේ සඳහන් වෙන්නේ," යනුවෙන් ඇය සඳහන් කළාය.

සියලු ආරාධිත අමුත්තන් නැගී සිට අත්පොලසන් නැගීමෙන් අනතුරුව, මලාලා දැරිය ළමා අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් අදහස් පළ කළේ, උද්යෝගිමත් එසේම ඉතාම ශක්තිමත් විලාශයකින්.

"කාන්තාවන් සහ දරුවන්ගේ අයිතීන් සියලුම සාම සම්මුතිවලට අඩංගු කළ යුතු බවට අපි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කාන්තා අයිතීන්වලට එරෙහිව යන කිසිම සම්මුතියක් පිළිගත නොහැකියි ," යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ආත්මාර්ථකාමී උවමනා සඳහා ළමා අධ්‍යාපනයට වින කරන කොටස් දැරියගේ හෙලා දැකීමට ලක්විය.

පාකිස්තාන් කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙනුයි, තාලිබාන් ප්‍රහාරකයන් ඇයගේ හිසට සහ ගෙලට වෙඩි තබන ලද්දේ.

තමාට එම අපරාධය කළ අයට සමාව දෙන බවයි මලාලා යූසුෆසායි එකසත් ජාතීන් අමතමින් කියා සිටියේ.