මැදපෙරදිග තරුණ දඩයමක්

ඡායාරූප මූලාශ්‍රය, AP
පලස්තීන තරුණයන් සහ ඊශ්‍රායල් කැරලි මර්දන පොලිසිය අතර ගැටුම් පවතින බව වාර්තා වෙයි.
නැගෙනහිර ජෙරුසලමේ දී ඊයේ අඟහරුවාදා රාත්‍රියේ පැහැර ගැනීමට ලක් වූ දාහත් හැවිරිදි පලස්තීන යොවුන් තරුණයකුගේ පුළුස්සා දමන ලද මළසිරුර සොයා ගනු ලැබීමෙන් අනතුරුවයි එම ගැටුම් ආරම්භ වුණේ.
ඊශ්‍රායල් කැරලි මර්දන පොලිසිය කඳුළු ගෑස් ගසමින් රබර් උණ්ඩවලින් වෙඩි තබන ලද අතර පලස්තීන තරුණයෝ ගල් මුල් ආදියෙන් පොලිසියට පහර දුන්හ.
පලස්තීන තරුණයන් විසින් බස් නැවතුම් පොළවල් කීපයක් විනාශ කර දමන ලද බවත් වාර්තා වෙයි.
මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් ආගමික වතාවත් සඳහා මුස්ලිම් පල්ලිය කරා ඇවිද යමින් සිටි දාහත් හැවිරිදි මොහමඩ් අබු කදීර් නම් තරුණයා බලහත්කාරයෙන් එම රථයට නංවා ගෙන පැහැර ගෙන ගිය බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එම සිද්ධිය දුටු තැනැත්තෙක් කියා සිටියේ තරුණයා පැහැර ගත් කණ්ඩායම මාර්ග සංඥාවන් ද නොතකා පළා ගිය බවයි.
‘අධම ඝාතන’
පසුගිය දා බටහිර ඉවුරේ දී යුදෙව් තරුණයන් තුන් දෙනකු පැහැර ගෙන ගොස් මරා දමනු ලැබුණ අතර ඊට පලි ගැනීමක් වශයෙන් මුස්ලිම් තරුණයා මරා දමන්නට ඇති බවයි ඊශ්‍රායල් පොලිසිය පවසන්නේ.
මෙම ඝාතන ඊශ්‍රායල් අගමැති බෙන්යමින් නෙතන්යාහු විසින් ද හෙලා දකිනු ලද්දේ ඒවා ‘අධම ඝාතන’ යනුවෙන් හඳුන්වමින්.
මෙයින් දින කීපයකට පෙර යුදෙව් තරුණයන් තිදෙනා මරා දමනු ලැබීම ඊශ්‍රායල් බලධාරීන්ගේ දරුණු කෝපයට හේතු වී තිබුණි.
අගමැති බෙන්යමින් නෙතන්යාහු සිය කෝපය පළ කරමින් කියා සිටියේ යුදෙව් තරුණයන් තුන් දෙනා පැහැර ගෙන ගොස් මරා දමනු ලැබීමට හවුල් අවසන් පුද්ගලයා දඩයම් කර ගන්නා තෙක් තමන්ට ඉවසුමක් නොමැති බවයි.
යුදෙව් තරුණ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ‘හමාස්’ පලස්තීන ව්‍යාපාරයට ඇඟිල්ල දිගු කළත් එම සංවිධානය කියා සිටින්නේ ඒ සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.








