ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී එකොළහක් මරුට

පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි පැවසෙන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි පැවසෙන්නේ

දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදි වෙමින් පැවති ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එකොළොස් දෙනකු මියගොස් ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

මිය ගිය පිරිසෙන් වැඩි දෙනකු, චෙන්නායි නගරය ආසන්නයේ පිහිටි මහල් දොළහකින් යුත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වල නියැලුණු කම්කරුවන් බවයි විශ්වාස කෙරෙන්නේ.

තවමත් පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිර වී සිටින බවයි පැවසෙන්නේ.

සහන සේවකයෝ මේ වන විට අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් සෙවීමේ නිරත වී සිටිති.

ගොඩනැගිල්ල කඩා වැටෙන මොහොතේ චෙන්නායි නගරය අවට අධික වර්ෂාවක් පැවති බව ඉන්දීය ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු පොලිස් රැඳවුම් භාරයට ගෙන තිබේ.