‘බෝකෝ හරාම්’ කැරලිකරුවන්ට ජනතා ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කෝපයට පත් මහජනයා විසින් ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයේ සාමාජිකයන් යයි ඔවුන්ගේ සැකයට ලක් වූ කණ්ඩායමක් මරා දමනු ලැබ ඇතැයි ඊශාන දිග නයිජීරියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ඇතැම් වාර්තා මගින් කියවෙන්නේ, ගම් වැසියන් විසින් ‘බොකෝ හරාම්’ ප්‍රහාරයක් මැඩ ලමින් සන්නද්ධ සංවිධානයේ සාමාජිකයන් දෙසීයක් පමණ මරා දමා ඇති බවයි.

‘බෝර්නෝ’ ප්‍රාන්තයේ ‘කලබල්ගේ’(Kalabalge) දිස්ත්‍රික්කයේ සෙනසුරාදා ආරම්භ වූ ප්‍රචණ්ඩ ප්‍රහාර අතරවාරයේයි, ඉහත කී ඝාතන සිදු කර තිබෙන්නේ.

බීබීසී මාධ්‍යවේදියෙක් පවසන්නේ, ඔහු එක් ගමක දී මළ සිරුරු පනහක් ද, තවත් ගමකදී මළ සිරුරු එකසිය පනහක් ද දුටු බවයි.

බීබීසී වාර්තාකරු පවසන ආකාරයට එම සියලුම මළසිරුරු කැරලිකරුවන්ගේ බවයි පෙනී යන්නේ.

කෝපයට පත්ව සිටින ගම්වාසීන් විසින් මෝටර් රථ තුනක් ද එක් සන්නද්ධ රථයක් ද අල්ලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

ප්‍රහාරක ගම්වාසීන් සෝදිසි කණ්ඩායමක් හැටියට සංවිධානය වී සිටි බවත් නයිජීරියානු වාර්තාවන්හි දැක්වෙයි.

හදිසි නීතිය

මේ අතර තවත් වාර්තාවකින් පැවසෙන්නේ, රටේ ඊශාන දිග කලාපයේ හදිසි නීතිය දීර්ඝ කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් නයිජීරියානු පාර්ලිමේන්තුවේ විවාදයක් ආරම්භ කොට ඇති බවයි.

එම කලාපයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙයින් වසරකට පෙරයි.

බෝර්නෝ ,යෝබේ සහ අදමවා යන ප්‍රාන්තයන්හි හදිසි නීතිය හය මාසයකින් දීර්ඝ කරන මෙන් ජනාධිපති ජොනතන් ගුඩ්ලක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියි.

එහෙත් ආණ්ඩුව විවේචනයට ලක් කරන්නන් පෙන්වා දෙන්නේ, යුදමය මෙහෙයුම් වල ඊළඟ ප්‍රතිවිපාකය වන්නේ, ඉහත කී කලාපය තවත් අස්ථාවර තත්වයකට ඇද වැටීමේ අවදානමක් ඇති බවයි.

පැහැර ගනු ලැබ සිටින පාසල් දැරියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිස ගැනීමේ

සාකච්ඡා සඳහා නියෝජිතයන් කණ්ඩායමක් එවන මෙන් නයිජීරියානු ආණ්ඩුව අඟහරුවාදා ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය කැරලිකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

‘බොකෝ හරාම්’ ඉස්ලාමීය කැරලිකරුවන් සීයකටත් අධික පාසල් දැරියන් පැහැර ගෙන ගොස් මේ වන විට මාසයක් පමණ ගත වී ඇත.