පාසල් දැරියන් සෙවීමට ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායමක්
බොකෝ හරාම් කැරලිකරුවන් පැහැර ගත් සිය ගණනක් පාසල් දැරියන් සිටින ස්ථානය සොයා ගැනීමට සහය වීම පිණිස නිරීක්ෂණ කණ්ඩායමක් නයිජීරියාවට යවා ඇති බව ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කොට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
එම පාසල් සිසුවියන් දකුණු දිගින් පිහිටි බොර්නෝ(Borno) ප්‍රාන්තයේ පාසලකින් පැහැර ගෙන යනු ලැබුවේ මීට මාසයකට පෙරදීයි.
ඇමරිකා එක්සත් ජනපදය මෙම නිරීක්ෂණ මෙහෙයුමේදී නයිජීරියාව හා එක්ව චන්ද්‍රිකා මගින් ලබා ගන්නා ජායාරූපද පරීක්ෂාකිරීමට බලාපොරොත්තු වෙයි.
රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තුවල සහ අමරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් තිස්දෙනකු දැනටමත් එහි ගොස් සිටින බව ජනාධිපති ඔබාමාගේ ප්‍රකාශකයකු වන ජේ.කාර්නි ප්‍රකාශ කළේය.
ගුවනින් නිරීක්ෂණ
මේ කාර්යයේදී ගුවනින් නිරීක්ෂණ මෙහෙයවන ලෙස බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා ඇත.
බොකෝ හරාම් සංවිධානයට එරෙහිව සම්බාධක පැනවීමට බල කිරීම සඳහා තම හවුල්කාර රටවල් සමඟ කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති ඔබාමාගේ ප්‍රකාශකයා සඳහන් කළේය.




