ගිලුණ නැවේ කපිතාන් අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්‍රය, AP
බදාදා දියබත් වූ දකුණු කොරියානු මගී නෞකාව තුළට පිවිසීමට කිමිදුම් කරුවන් කීපවරක්ම යත්න දැරුවත් එය අසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.
නැව අභ්‍යන්තරයට පිවිස සෝදිසි කිරීමට කිමිදුම් කරුවන් විසින් ගනු ලැබුණ ප්‍රයත්නය අසාර්ථක වී තිබෙන්නේ ඉතා සැර මුහුදු රළ සහ පැහැදිලි දර්ශනයක් නොමැති වීම හේතුවෙන්.
දකුණු කොරියානු වෙරළාරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කරන්නේ, තම කණ්ඩායම දිය යට ඇති නැවේ කවුළුවකින් මළසිරුරු තුනක් දැක ඇති බවයි.
එහෙත් කිමිදුම් කරුවන්ට කවුළු වීදුරුව බිඳ දැමීමට අපොහොසත් වූ හෙයින් එම මළසිරුරු දිය මතට ගෙන ඒමට නො හැකි වූ බවත් එම නිලධාරියා පවසයි.
කිමිදුම්කරුවන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආරක්ෂක කඹ යොදා ගනිමින් කිමිදුම් කරුවන් ගිලුණ නැවේ උඩ තට්ටුවට ලඟා වී ඇතත්, නැව අභ්‍යන්තරයේ කුටි වලට පිවිස සෝදිසි කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.
බදාදා දියබත් වූ නෞකාවේ ගමන් ගනිමින් සිටි මගීන්ගෙන් දෙසිය හැත්තෑවකට අධික පිරිසකට සිදු වුණ දෙයක් තවමත් දැන ගන්නට නොමැත.
විපතට පත් අයගෙන් වැඩි දෙනා පාසල් දරු දැරියන්.
මගී නෞකාවේ කපිතාන්වරයා සහ තවත් කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.








