මැතිවරණ සමයේ ඉන්දු කාශ්මීරයේ ගැටුම්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඉන්දීය ආණ්ඩුවේ පාලනය සහිත කාශ්මීර් ප්‍රාන්තයේ ආරක්‍ෂක හමුදා සහ සන්නද්ධ කැරලිකරුවන් යයි සැක කෙරෙන කණ්ඩායමක් අතර බිහිසුණු වෙඩි හුවමාරුවක් සිදු වූ බව ශ්‍රී නගර් අගනුවරින් වාර්තා වෙයි.

ගැටුම සිදු වී තිබෙන්නේ ජම්මු කාශ්මීරයේ, ශ්‍රී නගර් අගනුවරින් නැගෙනහිර දෙසට වන්නට කිලෝමීටර් කීපයක් ඈතින්.

නිලධාරීන් පවසන්නේ, නිවසක් අල්ලා ගෙන සිටි අධි සන්නද්ධ කැරලිකරුවන් කුඩා කණ්ඩායමක් සමඟ පොලිසිය සහ ආණ්ඩුවේ සන්නද්ධ ඒකක සටන් වැදුණ බවයි.

ඊයේ ඉරිදා සවස ආරම්භ වී ඇති එම සටනේදී, පොලිස් භටයන් තුන් දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ඉරිදා ඉන්දීය කාශ්මීර් ප්‍රාන්තයේ ඇති වූ වෙනත් ගැටුමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කැරලිකරුවන් යයි සැක කෙරෙන දෙදෙනකු මරණයට පත් වූ අතර, ඉන් අනතුරුවයි මුලින් කී ගැටුම ආරම්භ වී තිබෙන්නේ.

මේ මාසය ආරම්භයෙහි ඉන්දීය මහ මැතිවරණය ආරම්භයේ පටන් කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තාකරුවෝ පවසති.