පකිස්ථානයේ 'ළමා විවාහ තොර කලාප'

ගෝඩන් බ්‍රවූන් පකිස්ථානයේ සංචාරයක නිරත වූයේ නවාස් ෂරිෆ්ගේ ආරාධනයෙන්.

ඡායාරූප මූලාශ්‍රය, PID

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝඩන් බ්‍රවුන් පකිස්ථානයේ සංචාරයක නිරත වූයේ අගමැති නවාස් ෂරිෆ්ගේ ආරාධනයෙන්

පකිස්ථානයේ 'ළමා විවාහ තොර කලාප' පිහිටුවිය යුතු බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් ප්‍රකාශ කරයි.

"පාසල් නොයන දරුවන් හැත්තෑ ලක්ෂයක් ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම පිළිගත හැකි තත්වයක් නොවෙයි," යනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් ප්‍රකාශ කළේය.

ගැහැණු ළමයකු බලහත්කාරයෙන් විවාහයකට තල්ලු කර දැමීම "නූතන ලෝකය පිලි නොගන්නා" බවද ලෝක අධ්‍යාපනය සඳහා විශේෂ නියෝජිත ගෝඩන් බ්‍රවුන් පැවසීය.

මෙයින් ගැහැණු ළමයාගේ අධ්‍යාපනය මෙන්ම ඇගේ ළමා කාලය ද අහිමි වන බවත් ඔහු බීබීසී යට කියා සිටියේය.

පකිස්ථාන ළමුන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට නැඹුරු කර වීමට එක්සත් ජාතීන් ඩොලර් මිලියන 10ක් සහ යුරෝපා සංගමය යුරෝ මිලියන 100ක් ලබා දෙන බව ඔහු පැවසුවේ ඉස්ලාමාබාද් නුවර සංචාරයකදී.

නියාමක ව්‍යාපෘතිය

'පාසල් නොයන දරුවන් හැත්තෑ ලක්ෂයක් සිටිනවා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'පාසල් නොයන දරුවන් හැත්තෑ ලක්ෂයක් සිටිනවා'

"මිනිස්සු බලහත්කාරයෙන් ගැහැණු ළමුන්ව විවාහයකට තල්ලු කරනව නම් ඒක පිළිගන්න බැහැ කියල කියන්න ගුරුවරුන් සහ ගැහැණු ළමුන් දිරි ගන්වන්න අපට අවශ්‍යයි," යනුවෙන් ද බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා කියා සිටියේය.

ළමා විවාහ වලින් තොර කලාපයක් නියාමක ව්‍යාපෘතියක් වශයෙන් පකිස්ථානය තුළ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරන බවත් ඔහු සඳහන් කළේය.

ගැහැණු ළමුන් බලහත්කාරයෙන් විවාහ කර වීමට එරෙහිව තහංචි පැනවීම කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර විශාල සහයෝගයක් තිබෙන බව ද හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා විශ්වාසය පළ කරයි.

2015 දෙසැම්බර් වන විට සෑම ළමයකුම අධ්‍යාපනය ලැබිය යුතුයි යන ජගත් තීන්දුව දිනා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගමයේ මුදල් උපකාරයක් වන බව ඔහුගේ විශ්වාසයයි.

ගෝඩන් බ්‍රවුන් පකිස්ථානයේ සංචාරක නිරත වූයේ අගමැති නවාස් ෂරීෆ්ගේ ආරාධනයෙන්.