ක්‍රිමියානු යුද කඳවුරු දෙකක් රුසියානු හමුදා අතට

බෙල්බෙක් කඳවුරේ යුක්රේනියානු හමුදා
ඡායාරූප ශීර්ෂ වැකිය, බෙල්බෙක් කඳවුරේ යුක්රේනියානු හමුදා

රුසියාවේ හමුදා සන්නද්ධ රථ යොදා ගනිමින් ක්‍රිමියාවේ සෙවෙස්තපෝල් නගරය අසල පිහිටි යුද හමුදා කඳවුරක තාප්ප පෙරලා දමා ඊට ඇතුල් වූ බව වාර්තා වෙයි.

එහෙත් එම කඳවුරේ සිටි යුක්රේනියානු හමුදා රුසියාවට යටත් වීම ප්‍රතික්ෂේප කරන ලද බවත් ප්‍රකාශ කෙරුණි.

‘බෙල්බෙක්’නම් යුද කඳවුරේ තාප්ප කඩා බිඳ හෙළමින් රුසියානු හමුදා ඊට ඇතුල් වෙද්දී වෙඩි හඬ ඇසුන බවත් ක්‍රිමියානු වාර්තාවන්හි දැක්වෙයි.

රුසියානු ආධාරකරුවන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ආධාරකරුවන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

රුසියානු හමුදා තමන්ට පහර දුන්නොත් අහසට වෙඩි තබන මෙන් යුක්රේනියානු අණදෙන නිලධාරියා සිය සොල්දාදුවන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

‘බෙල්බෙක්’යුද හමුදා කඳවුර අසල සිටින බීබීසී වාර්තාකරුවෙක් අදහස් දක්වමින්, ඉහත කී සිද්ධියේදී අඩු තරමින් එක් සොල්දාදුවකුවත් තුවාල ලබා ඇති බවයි සඳහන් කළේ.

ඉන් පෙර සෙවෙස්තපෝල් නගරයට උතුරින් පිහිටි ‘නොවෆෙදරිව්කා’ ගුවන් හමුදා කඳවුරේ පාලනයත් රුසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබ තිබුණි.

රුසියාවට සහයෝගය පළ කරන කණ්ඩායම් එම ගුවන් හමුදා කඳවුරට කඩා පැන එහි ගොඩනැගිලිවල ජනේල කුඩු කරමින් ,කඳවුරේ ප්‍රදර්ශනය කෙරුණ යුක්රේනියානු සංකේත විනාශ කර දැමූ බවයි වාර්තා වන්නේ.

රුසියානු පාලනයට සහයෝගය පළ කරන කණ්ඩායම් එම කඳවුරට කඩා පැනීමේදී දුම් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණි.