මම ජිනීවා යන්නේ නැහැ -ආනන්දි සසිධරන්

මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් මණ්ඩල සමුළුව සඳහා තමා සහභාගී නොවන බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිධරන් ප්‍රකාශ කළාය.
උතුරු පළාත් සභාව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීනි ආනන්දි සසිධරන් ජිනීවා සමුළුවට යැවීමට තීරණය කර ඇති බව මීට පෙර ලැබුණු ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.
මේ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී ආනන්දි සසිධරන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් මේ සඳහා යවන ලෙස ඇය ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ, තිරුකෙතීස්වරන් සමුහ මිනී වලින් හමු වූ ඇටසැකිලි විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ රසායන විද්‍යාඥයන්ට ආරාධනය කිරීමට පියවර ගත යුතු යයි පවසමින් ආනන්දි සසිධරන් සහ එම්.කේ.සිවාජිලිංගම් මන්ත්‍රී දෙපළ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණ යෝජනාවකට ද උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබුණි.
යුද ස්මාරකයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම පළාත් සභාවේ අනුමැතිය ලද තවත් යෝජනාවක් වුණේ, සිවිල් යුද්ධයේ අවසාන ප්‍රහාරයේ දී මරා දැමුණ ජනතාව වෙනුවෙන් මුල්ලිවයික්කාලේ ස්මාරකයක් පිහිට විය යුතු බවයි.
මන්ත්‍රී ටී.රවිහරන් විසින් ඉදිරිපත් කරනු ලැබුණ එම යෝජනාවටත් උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබුණි.
මිනී මැරුම් චෝදනා යටතේ රිමාන්ඩ් සිර භාරයේ තබා සිටින උතුරු පළාත් සභා විපක්ෂ නායක කේ.කමලේන්ද්‍රන් ද අද සඳුදා උතුරු පළාත් සභා සැසියට සහභාගී විය.
විපක්ෂ නායකයා පළාත් සභාව අමතමින්, ජනාධිපතිවරයා සමඟ එකමුතුව පෙරට යා යුතු බව කියා සිටි අතර විපක්ෂය ඉහත කී යෝජනා වලට ඔවුන්ගේ විරෝධය පළ කර තිබුණි.








