ආනන්දි සසිධරන් ජනාධිපති කොමිසම හමුවේ

දහස් ගණනක් ජනතාව හමුවේ 2009 දී ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවට භාර දුන් හිටපු එල්ටීටීඊ නායකයකු වන තම සැමියා මෙන් ම සාක්ෂි කරුවන් දෙදෙනකු ද අතුරුදහන් වී ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිධරන් ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රකාශ කළාය.
කිලිනොච්චියේ දී කොමිසම හමුවේ ඇය පවසා ඇත්තේ තම සැමියා වෙනුවෙන් යුක්තිය පතා අධිකරණය හමුවට යාමෙන් අනතුරුව තමනුත් තර්ජනයට ලක් වී සිටින බවයි.
එසේ හෙයින් කොමිසමින් තමන් ආරක්ෂාව ඉල්ලා සිටි බව ද උතුරු පළාත් සභා මන්ත්‍රී වරිය බීබීසී යට කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty Images
ආනන්දි සසිදරන්ගේ සැමියා වන්නේ වවුනියාව, ත්‍රිකුණාමල දෙ පලාතේ එල්ටීටීඊ දේශපාලන අංශ නායක සින්නදුරෙයි සසිදරන් හෙවත් එලිලන්.
ඔහු භාර දීමේ සාක්ෂියට රජයේ හමුදාව විසින් කැඳවනු ලැබූ කතෝලික පූජක වරුන් දෙ පල ද ආ ගිය අතක් නැති බවයි මන්ත්‍රී වරිය කොමිසමට පවසා ඇත්තේ.
'පුනරුත්ථාපන සැලසුම්'
මීට අමතරව, තමන් එල්ටීටීඊ සාමාජිකාවක් ලෙස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමේ සැලසුම් පිළිබඳ ව දේශපාලකයන්, නිලධාරීන් හා ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් පළ කොට ඇති පුවත් පත් වල පිටපත් ද කොමිසමට භාර දුන් බව ආනන්දි සසිධරන් බීබීසී යට කියා සිටියාය.
අතුරුදහන් වුවන් පිලිබඳ තොරතුරු සොයා බලන ජනාධිපති කොමිසම පවසන්නේ උතුරේ විමසීම් ආරම්භ කළ සෙනසුරාදා පටන් 200ක් පමණ ජනතාව තමන් හමුවට ආ බවයි.
මේ වන විට සාමාන්‍ය වැසියන් අටදහසක ගේත්, සොල්දාදුවන් පන්දහසක ගේත් ඥාතීන් තම සරණ පතා සිටි බවයි කොමිසම පවසන්නේ.








