‘දහතුන් වැනි සංශෝධනය මකා දැමීමට ඉඩ දෙන්නේ නැහැ’- චිදම්බරම්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විනාශ කර දැමීමට යත්න දරමින් ඇතත්,ඉන්දියාව ඊට ඉඩ නො තබන බව එරට මුදල් ඇමති පලනිඅප්පන් චිදම්බරම් කියා සිටියි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය ආරක්ෂා කිරීමට සහ එය ක්‍රියාවට නැංවීමට ඉන්දියාව දිගටම කටයුතු කරමින් සිටින බවයි,මුදල් ඇමති චිදම්බරම් පවසන්නේ.
ඇමතිවරයා එම අදහස් පළ කළේ චෙන්නායි නගරයේ පැවැත්වුන සමුළුවක් අමතමින්.
“ඉන්දියාව පරමාධිපති බලය සහිත රටක්. එසේම අපගේ අසල්වැසි රාජ්‍යයනුත් පරමාධිපති බලය සහිත රටවල් වන්නේ” යයි ඉන්දීය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාවේ මැදිහත් වීමෙන් සම්පාදනය කෙරුණ බව කියා සිටි මුදල් ඇමති පී.චිදම්බරම්,සියරට එම සංශෝධනය කිසිසේත් ම අත්හැර නො දමන බවයි,කියා සිටියේ.
රජිව් ගාන්ධි

දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු වීමට ඉන්දියාව ඉඩ නො තබන බව සඳහන් කළ මුදල් ඇමතිවරයා,තමා විසින් එම ප්‍රතිඥාව දෙනු ලබන්නේ රජිව් ගාන්ධි නාමයෙන් බවයි ප්‍රකාශ කළේ.
“දහතුන් වැනි සංශෝධනය ක්‍රියාවට නැංවීම සඳහා ඉන්දියාවට ගත හැකි හැම පියවරක් ම නිශ්චිතව ම ගන්නා බවයි" පී.චිදම්බරම් මුදල් ඇමතිවරයා පවසන්නේ.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ යෝජනාව බොහෝ රටවල් විසින් අනුමත කරන ලද නමුත්,එය දියාරු මට්ටමකට පත් ව ඇති බවයි, මුදල් ඇමති පී,චිදම්බරම් චෙන්නායි සමුළුවේදී සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ ජන සංහාරයට වග කිව යුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ වීම සඳහා ඒ ගැන විභාගයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහයෝගය පළ කරනු ලැබීම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවත් සමඟ කෝප වීමට හේතු වී ඇති බවයි,පලනිඅප්පන් චිදම්බරම් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.








