ලෝකයේ උසම පිළිමය ඉන්දියාවේ

නරේන්ද්‍ර මෝඩි දේශපාලන අනුහස ආරෝපණය කර ගැනීමේ වෑයමක.
ඡායාරූප ශීර්ෂ වැකිය, නරේන්ද්‍ර මෝඩි දේශපාලන අනුහස ආරෝපණය කර ගැනීමේ වෑයමක.

ඉන්දියාවේ මී ළඟ මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා හැටියට තරඟ වැදීමට නියමිත නරේන්ද්‍ර මෝඩි ලෝකයේ උසම පිළිමය නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසා ඇත.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයට එරෙහි ඉන්දීය නිදහස් අරගලයේ විරුවකු ලෙස සැලකෙන සර්දාර් වල්ලබායි (Ballabhbhai) පටෙල්ගේ පිළිරුවකුයි,නරේන්ද්‍ර මෝඩි විසින් ඉදි කරනු ලැබීමට යන්නේ.

වානේ වලින් නිමවනු ලබන යෝධ පිළිරුව ඉදි කෙරෙන්නේ, නරේන්ද්‍ර මෝඩි මහ ඇමති පදවිය දරන ගුජටාට් ප්‍රාන්තයේ ගංගාවක් මැද පිහිටි දූපතක.

යකඩ මිනිසා

“යකඩ මිනිසා” යයි විරුදාවලි ලැබ සිටි සර්දාර් වල්ලබායි පටෙල් ඔහුගේ සමස්ථ දේශපාලන දිවියම කැප කළේ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය වෙනුවෙනුයි.

භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි එම යෝධ පිළිරුව ඉදිකිරීම මගින් සර්දාර් වල්ලබායි පටෙල්ගේ අනුහස තමාට ආරෝපණය කර ගැනීමේ උත්සාහයක නිරත වෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.

ඇමෙරිකානු ඩොලර් තුන් කෝටි හතළිස් ලක්ෂයක් වැය කොට ඉදි කිරීමට යන පිළිරුව මුදල් වැනසීමේ ව්‍යාපෘතියක් වන බවයි,එය දෝෂ දර්ශනයට ලක් කරන්නන් පෙන්වා දෙන්නේ.