පැනමා නැවේ ආයුධ අපේ -කියුබාව

'අවි තොගය, ටොන් ගණනක් වූ සීනි තොගයක් යට සඟවා තිබූ හෙයින් මේ පිළිබඳව සැක සහිතයි' -පැනමා බලධාරීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'අවි තොගය, ටොන් ගණනක් වූ සීනි තොගයක් යට සඟවා තිබූ හෙයින් මේ පිළිබඳව සැක සහිතයි' -පැනමා බලධාරීන්

පැනමාවේදී අත්අඩංගුවට පත් වූ උතුරු කොරියානු නැවේ කියුබාවට අයත් යුද අවි රැගෙන යමින් තිබූ බව කියුබානු රජය පිළිගෙන තිබේ.

නමුත් කියුබානු විදේශ අමාත්‍යාංශය කියා සිටියේ මෙම අවි ආයුධ යල් පැන ගිය ඒවා බවයි.

සෝවියට් යුගයට අයත් මිසයිල සහ ප්‍රහාරක ගුවන් යානා දෙකක් ද සහිත මෙම අවි තොගය අලුත්වැඩියා කිරීම සඳහා උතුරු කොරියාවට යවමින් තිබූ බව කියුබාව නිවේදනය කළේය.

'සීනිවලට යටින්'

නමුත් මෙම අවි තොගය ටොන් ගණනක් වූ සීනි තොගයක් යට සඟවා තිබූ හෙයින් මේ පිළිබඳව සැක සහිත බවයි පැනමා බලධාරීන් කියා සිටින්නේ.

අවි තොගය ප්‍රවාහණය කළ 'චොං චොන් ගැං' නමැති නෞකාව මීට පෙරද ජාවාරම්වලට සම්බන්ධ වී තිබෙන බව එක්සත් ජනපදය ප්‍රකාශ කළේය.